මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පියයුරු පිළිකා පිළිබඳව දැනුම්වත් වෙමු- කල්තියා හඳුනාගැනීමෙන් වියදම් අඩුකරගමු

    සැප්තැම්බර් 30, 2022

     

    පියයුරු පිළිකා පිළිබඳව දැනුම්වත් වෙමු- කල්තියා හඳුනාගැනීමෙන් වියදම් අඩුකරගමු

    අදින් ඇරඹෙන ඔක්තෝබර් මාසය කාන්තාවන්ට ඉතාමත් සුවිශේෂී මාසයක්.. මන්ද ලෝක පියයුරු පිළිකා පිළිබඳව දැනුම්වත් කිරීමේ මාසය ඔත්තෝබර් මාසය වන නිසා. මෙවර ජාත්‍යන්තර පියයුරු පිළිකා පිළිබඳව දැනුම්වත් කිරීමේ මාසයෙහි තේමාව වනුයේ “කල්තියා හඳුනා ගැනීමෙන් වියදම් අඩු කිරීම” යන්නයි.

    ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර සුලබම පිළිකාව පියයුරු පිළිකාවයි. වසරකට කාන්තාවන්ගේ අලුතින් හඳුනාගන්නා පිළිකා වලින් හතරෙන් එකක් පමණ පියයුරු පිළිකා වේ. පිළිකා දත්ත වලට අනූව දිනකට ලංකාවේ පියයුරු පිළිකා රෝගීන් 12 දෙනෙකු පමණ සොයාගනු ලැබෙයි. පසුගිය වසර 25ක කාලය තුළ අලුතෙන් හඳුනාගත් පියයුරු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවීමක් පෙන්නුම් කරයි.

    පියයුරු පිළිකා ඇති රෝගීන් කල් ඇතිව හඳුනාගැනීම, කඩිනම් රෝග විනිශ්චය, ප්‍රතිකාර සහ පිළිකාව සමඟ දිවි ගෙවන රෝගීන් සඳහා ඇති නොයෙකුත් සේවාවන් පිළිබඳව ජනතාවගේ දැනුවත්බව වැඩි කිරීමේ අරමුණින් ලොව පුරා “පියයුරු පිළිකා පිළිබඳ දැනුම්වත් කිරීමේ මාසය” සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී සමරනු ලබයි.

    පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන මූලික අවස්ථාවේදී ප්‍රතිකාර කිරීම මගින් රෝගය සුව කර ගැනීමට ඇති හැකියාවද වැඩිවේ. ප්‍රතිකාර වල ඵලදායීතාවය ඉහළ නැංවීමට අමතරව, කලින් හඳුනාගැනීම මගින් මූලික ශල්‍යකර්ම පමණක් සිදුකර ශරීර හැඩයට සිදුවන බලපෑම වළක්වා ගැනීමටත් වියදම් අඩු සරල ප්‍රතිකාර සඳහා යොමුවීමටත් අවස්ථාව සැලසෙයි.

    පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීම සඳහා පියයුරු වල ඇතිවිය හැකි අසාමාන්‍යතා සම්බන්ධව රෝග ලක්ෂණ හා සලකුණු පිළිබඳ ජනතාවගේ දැනුම ඉහළ නැංවීම, ස්වයං පියයුරු පරීක්ෂාව සහ සායනික පියයුරු පරීක්ෂා උපකාර කරගත හැක.

    සායනික පියයුරු පරීක්ෂාව පුහුණු සෞඛ්‍ය වෘත්තිකයෙකු විසින් සිදුකරනු ලබන අතර එය වයස අවුරුදු 20 සිට 40 දක්වා සියලුම කාන්තාවන් සඳහා සෑම වසර 03කට වරක්ම නිර්දේශ කෙරෙයි. වයස අවුරුදු 40 හෝ ඊට වැඩි කාන්තාවන් සඳහා වාර්ෂිකව නිර්දේශ කරනු ලැබේ.

    දීප ව්‍යාප්ත සුවනාරී සායන හා සුවදිවි සායන මෙන්ම ඇතැම් ද්විතීයික/ තෘතීයික රෝහල් තුළ පවත්වන “පියයුරු සායන” මගින් පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ සේවාව ලබාදේ. මෙය තව දුරටත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය වන මැමෝග්‍රෆි පරීක්ෂාව සහ ව්‍යාධිවේදී පරීක්ෂණ සඳහා අවශ්‍ය වන පහසුකම් රට පුරා ව්‍යාප්තව පවතී.

    ජාතික පිළිකා මර්දන වැඩසටහන පළාත්/ ප්‍රාදේශීය අධ්‍යක්ෂ කාර්යාල, රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව 2022 ඔක්තෝබර් මාසය තුළ විශේෂ වැඩසටහන් මාලාවක් සැලසුම් කර ඇත.

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya