අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ ග්‍රාම සංවර්ධනය සිදුවන හැටි.....

    ඔක්තෝබර් 04, 2022

    පොදු සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීමේදී කිසිඳු පුද්ගලයෙක් පසු නොබැසිය යුතුය යන්න චීනයේ අධිෂ්ඨානය වී තිබේ.

    එම අදහස ඕනෑම රටක ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීමට මනා ආදර්ශයක්. එය චීන රට ප්‍රායෝගිකව ඔප්පු කරමින් පවතින සමයකි , මේ ගෙවෙමින් පවතින්නේ. ශ්‍රී ලංකාව වැනි රටක් සංවර්ධනය කරා ගෙන යාමේ දී ඊට අවශ්‍ය ශක්තීන් බොහෝමයක් පවතින්නේ ග්‍රාමීය ප්‍රාදේශවල යි. එම නිසා යම් රටක පවතින ආදර්ශවත් ග්‍රාම සංවර්ධන පිළිවෙත් සුදුසු පරිදි උඛහා ගැනීම ඉතා අගනා වේ. 2021 වර්ෂය වන විට ග්‍රාමීය පදිංචිකරුවන් මිලියන 98.99 ක් වත්මන් දරිද්‍රතා රේඛාවෙන් ඉහලට එසවීමට චීනය සමත්ව සිටී. ඒ අනුව අඩු ආදායම්ලාභී ග්‍රාමීය ජනතාව ඇතුළු සියලුම චීන ජාතිකයන් රටේ සංවර්ධනයේ ප්‍රතිඵලවලින් ප්‍රතිලාභ ලබයි.

    චීන මහජන කොංග්‍රසයේ (CPC) මධ්‍යම කාරක සභාව, වසර දහස් ගණනක් තිස්සේ චීන ජාතිකයන් පීඩාවට පත් කළ ගැටලුවක් වන නිරපේක්ෂ දරිද්‍රතාවය තුරන් කිරීමේ ඓතිහාසික ජයග්‍රහණ අත්කර ගෙන ඇති අතර ගෝලීය දරිද්‍රතාවය අවම කිරීම සඳහා ද සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.මෙම ආශ්චර්යය නිර්මාණය කරමින් චීනය ඉතිහාසගත වූයේ කෙසේද? ඒ සබන්ධයෙන් වන ප්‍රායෝගික උදාහරණ කිහිපයක් අවධානයට ගෙන බැලීමෙන් එවැනි දෑ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේ දැයි යම් අවබෝධයක් ලද හැකියි.

     

     බ්ලැන්ග් පවුලේ (Blang family) මුහුණට සිනහව නැවත පැමිණේ

    නිරිතදිග චීනයේ යුනාන් පළාතේ Blang ජනවර්ගයේ 35 හැවිරිදි Zhang Yuanxiang නම් කාන්තාවක් ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනා සමඟ සතුටින් ජීවත් වේ. ඇගේ ස්වාමිපුරුෂයා නිවස අසල වැඩ කරන අතර, ඇය ගමේ කුඩා කඩයක් පවත්වාගෙන යන අතර, ගම්වැසියන්ට පහසුව සහ පවුලේ අයවැය සඳහා උපකාර කරන අතර, ඔවුන්ගේ දරුවන් ප්‍රදේශයේ දැන් සතුටින් පාසල් යති. දැන් Zhang හට තෘප්තියක් දැනේ. මීට වසර තුන හතරකට පෙර ඇය දුෂ්කරතා සමඟ පොරබදමින් සිටි තැනැත්තියකි. ෂැං කුඩා කල සිටම උකුල් සන්ධි ආශ්‍රිත ආබාධවලින් පීඩා විඳි නමුත් නිසි ප්‍රතිකාර ලබා නොගත්තේය. වැඩෙන විට, දුව ගොස් සෙල්ලම් කළ හැකි ඇගේ මිතුරන්ට ඇය ඊර්ෂ්‍යා කළාය. ඇය වැඩෙත්ම, වේදනාව ඇගේ සාමාන්‍ය ජීවිතයට බලපෑ අතර ඇගේ චලනය අඩාල විය. ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වුවද තම සැමියාගේ සුළු ආදායමෙන් පවුල නඩත්තු කළ නොහැකි බව ඇය තේරුම් ගත්තාය.

    දරිද්‍රතා සහන නිලධාරීන් Zhang ගේ කතාව දැනගත් විට, ඔවුන් ඇගේ නිවසට ගොස් ජාතික සෞඛ්‍ය ආධාර ප්‍රතිපත්ති පැහැදිලි කර හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඇයව දිරිමත් කළහ. උකුලේ සැත්කමකින් පසු ෂැං සම්පූර්ණ සුවය ලැබී ය. ඇයගේ සම්පූර්ණ ප්‍රතිකාර පිරිවැය යුවාන් 67,050.82 ක් වූ අතර, එයින් යුවාන් 60,354.73 ක් ජාතික වෛද්‍ය රක්‍ෂණයෙන් ආවරණය විය. Zhang ගෙවා ඇත්තේ යුවාන් 6,705.09 ක් පමණි. ඉන්පසුව, දරිද්‍රතාවය පිටුදැකීමේ චීන පදනම (CFPA) විසින් ආරම්භ කරන ලද Backbone Project - දුප්පත් පවුල්වල ශ්‍රමය සඳහා සෞඛ්‍ය රක්ෂණය මගින් තවත් යුවන් 1882.04 ක මුදලක් රක්ෂණ ආවරණයක් ලෙස ලබා දී තිබේ. එය ඇගේ මූල්‍ය බර තවත් සැහැල්ලු කළේ ය. ග්‍රාමීය ජනතාව සෞඛ්‍ය රක්ෂණාවරණ ලබාදීමට චීන රජය යුහුසුළු වූයේ මේ අනුවයි.

    දරිද්‍රතාවයට හේතු, දරිද්‍රතාවය තුරන් කිරීම සහ සංවර්ධනය පිළිබඳ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රමුඛ කණ්ඩායම් කාර්යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2013 වසර අවසන් වන විට පවුල් මිලියන 12.56ක් රෝගාබාධ හේතුවෙන් දරිද්‍රතාවයට සිරවී හෝ අසනීප නිසා ඇති වූ දරිද්‍රතාවයට හැරී ඇත. දුර්වල සෞඛ්‍යය චීනයේ දරිද්‍රතාවයේ ප්‍රධාන හේතුව බවට පත් පත්විය. පසුගිය දශකය තුළ, බීජිං ග්‍රාමීය පදිංචිකරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා මූලික වෛද්‍ය රක්ෂණය, බරපතල රෝග රක්ෂණය සහ වෛද්‍ය ආධාර ඇතුළත් රටේ ග්‍රාමීය සෞඛ්‍ය රක්‍ෂණ පද්ධතිය වැඩිදියුණු කිරිමට පියවර ගෙන ඇත්තේ ඒ අනුවයි. ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් 2015 වසරේ දිළිඳුකම පිටුදැකීම සඳහා සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන දියත් කරන ලදී. රක්ෂණ ආවරණ පවත්වා ගැනීම් කළ නොහැකිම පවුල් සඳහා රජය මගින් වියදම් දැරිම සිදුවේ.

    දරිද්‍රතාවය තුරන් කිරීමේ ව්‍යාපාරය හමුවේ දුප්පතුන්ගේ මූලික වෛද්‍ය රක්ෂණ ආවරණය සියයට 99.9 ඉක්මවා යන මට්ටමට ඉහළට ගෙන තිබේ. සෞඛ්‍ය ආරක්ෂණය මත පදනම් වූ දරිද්‍රතාවය තුරන් කිරීමේ ප්‍රතිපත්ති මගින් මිලියන 500කට අධික දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ට ප්‍රතිලාභ ලබා දී ඇති අතර, මිලියන 19කට අධික දුප්පත් රෝගීන්ට සුදුසු ප්‍රතිකාර ලබා දීමට හැකිව තිබේ. එය මිලියන 10කට ආසන්න පවුල් සංඛ්‍යාවකට රෝගාබාධ නිසා ඇති වූ දරිද්‍රතාවයෙන් මිදීමට සහන සැලසී ඇත. දුප්පතුන් සඳහා රෝහල්ගත කිරීමේ වියදම්වල සමස්ත ප්‍රතිපූරණ අනුපාතය සියයට 80 ඉක්මවිය. 2018 සිට චීනයේ සෞඛ්‍ය ආරක්ෂණය පදනම් කරගත් දරිද්‍රතාවය පිටුදැකීමේ ප්‍රතිපත්ති මගින් දුප්පතුන්ගේ මූල්‍ය බර යුවාන් බිලියන 350කින් පමණ අඩු කරන්නට සමත්ව ඇති බව චීන ග්‍රාම ජන සංවර්ධන වාර්තා පෙන්වා දෙයි.

    2021 දී නිරපේක්ෂ දරිද්‍රතාවය තුරන් කිරීමේ ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් පසු, චීන රජය ප්‍රකාශ කළේ ඉදිරි වසර පහ දිළිඳුකම තුරන් කිරීම සහ ඒවා ග්‍රාමීය ජීවකරණය සමඟ සම්බන්ධ කිරීමේ කාල පරිච්ඡේදයක් වනු ඇති බවයි. ලොව විශාලතම ග්‍රාමීය සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය නිර්මාණය කිරීමට සහ සියලුම චීන ජාතිකයින්ට වෛද්‍ය සම්පත් සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබා දීමට චීනය ප්‍රතිඥා ලබාදී අවසන්.

    චීනය පසුගිය වසරේ ග්‍රාමීය ජනතාව සඳහා මූලික වෛද්‍ය රක්‍ෂණය සඳහා යුවාන් බිලියන 914.807ක් වැය කර ඇති අතර, දරිද්‍රතාවය පිටුදැකීමේ කාර්යයන් පැවරී ඇති පළාත් 25කට යුවාන් බිලියන 71.669ක් වැය කර ඇත. මූලික වෛද්‍ය රක්‍ෂණ, බරපතල රෝග රක්‍ෂණ සහ වෛද්‍ය ආධාර යන තුන්-ස්ථර ක්‍රමය මගින් අඩු ආදායම්ලාභී ග්‍රාමීය වැසියන්ට මිලියන 123ක ප්‍රතිලාභ ලැබී ඇත,

    පසුගිය දශකය තුළ, මූලික වෛද්‍ය රක්ෂණය යටතේ රට පුරා රක්ෂණය කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 540 සිට බිලියන 1.36 දක්වා වැඩි වී ඇති අතර, ග්‍රාමීය පදිංචිකරුවන් බිලියන 1.01 ක් 2021 අවසානය වන විට ආවරණය වන අතර ප්‍රතිපූරණ අනුපාතය ද ඉහළ යමින් පවතී. මූලික විශ්‍රාම වැටුප් රක්‍ෂණ සහභාගිවන්නන්ගේසංඛ්‍යාව මිලියන 790 සිට බිලියන 1.03 දක්වා ඉහළ ගොස් ඇති අතර, ග්‍රාමීය
    පදිංචිකරුවන් මිලියන 550ක් 2021 අවසානය වන විට මෙම සහනයන් ගෙන් ආවරණය කර ඇත. එය ජනතාවගේ ජීවිත වඩ වඩාත් සුරක්ෂිතවීමට හේතු වෙමින් පවති.

     

     ගමක නැවත ඉපදීම

    පිරිසිදු තාර පාරක් ගම හරහා දිව යයි. කඳු බෑවුම දිගේ ඉදිකර ඇති හොඳ ඉඩකඩ සහිත නිවාස ගස් වලින් වටවී ඇත. කුකුළන් සහ තාරාවන් සෙවණෙහි රැඳී සිටිති. ගෙවල්වලට අනෙක් පැත්තේ වත්තක පලතුරු සහ එළවළු වගා කරයි. පොඩි ලේනුන් ඉඳ හිට එහා මෙහා දිවය යි. ගැමියන් තම නිවෙස් ඉදිරිපිට විවේකීව වාඩි වී කතා බහ කරති. ගම්බද ප්‍රදේශවල මේ ජිවන රටාව සැහැල්ලු වූ සතුටු හැඟීම් භුක්ති විඳින්න ඉඩ
    සලසා තිබේ. චීනයේ නාගරික අමුත්තන් ගම් වල ඇති මේ සාමය සහ සන්සුන් බවට ආකර්ශනය වී එම ගම්මාන නැරඹීමට පවා පැමිණේ.

    නන්යු (Nanyu) ගම්මානය ද එවැන්නකි. නම් මෙම සුන්දර කඳුකර ගම්මානය පිහිටාඇත්තේ හෙබෙයි (Hebei) පළාතේ ලයිෂුයි (Laishui) ප්‍රාන්තයේ ය. ජනප්‍රිය දර්ශනීය ස්ථානයක් වන මෙම ගම්මානය යෙසාන්පෝ ජාතික වනෝද්‍යානයට යාබදව සහ බීජිං සිට තරමක් දුරින් පිහිටා තිබුණ ද මෙම ගම්මානය මීට වසර අටකට පෙර දුප්පත් වූ අතර බොහෝ පදිංචිකරුවන් දැඩි පීඩාවට පත්ව සිටියහ. ඇතැම් ජනයා ගම හැර ගියහ.

    2016 දී, රජය මැදිහත්ව ග්‍රාමීය සංචාරක ව්‍යාපාරය මෙහි දියුණු කර ඇති අතර එය ගම්මුන්ගේ ද ප්‍රාර්ථනාව විය. සංචාරක කර්මාන්තයේ සිදුවිය යුතු දෑ එම ගම්මානයේ වෘත්තිකයින් විසින් සැලසුම් කරනු ලැබී ය. ඒ අනුව හිස් නිවාස සහ අතහැර දැමූ බැටළු ගාල් ආපන ශාලා ආදිය බවට බවට පත් කරන ලදී. එහි ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ගම්වැසියන් බලමුලු ගන්වන ලද අතර වෘත්තීය සංචාරක සමුපකාරයක් පිහිටුවීමට අපේක්ෂකයින් තෝරා ගන්නා ලද්දේ ද එම ගම්මානයෙන්ම යි.

    නැන්යු (Nanyu) ගම්මානය ඉතා ඉක්මනින් සුන්දර සංචාරක ගමනාන්තයක් බවට පරිවර්තනය වූ අතර එය රට පුරා බොහෝ නාගරික සංචාරකයින් ආකර්ෂණය කර ගත්තේ ය. සංචාරක ව්‍යාපාරයේ ව්‍යාපාරික අවස්ථා දැකීමෙන් කලින් ගම හැර ගිය හා වෙනත් ප්‍රෙද්ශවල රැකියාවන්ට ගිය බොහෝ දෙනා ආපසු පැමිණ තම හිස් නිවාස සංචාරක නිවාස හා ආපනශාලා බවට පත් කළහ. නන්යු ගම්මානයේ දැන් කාමර
    500කට අධික ප්‍රමාණයකින් යුත් අංගන නවාතැන් කුට්ටි 46ක් ඇත. වාර්ෂිකව ගමට සංචාරකයින් 30,000 කට අධික සංඛ්‍යාවක් පැමිණෙන අතර, එහි ග්‍රාමීය සංචාරකකර්මාන්තය රැකියා 100 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ඇති අතර ගමට යුවාන් (yuan) මිලියන 3.65 ක වාර්ෂික ආදායමක් උපයමින් සිටී. පුද්ගලිකව පවත්වාගෙන යනු ලබන නවාතැන් වලින් සෑම වසරකම යුවාන් මිලියන 6කට වඩා වැඩි ප්‍රමාණයක් ගම්වැසියන් උපයා ගනී. 2014 සිට 2021 දක්වා නන්යු (Nanyu) ගම්මානයේ ඒක පුද්ගල වාර්ෂික ආදායම යුවාන් 2,000 සිට යුවාන් 12,000 දක්වා ඉහළ ගියේය. රැකියා අවස්ථා දොරකඩම ඇති බැවින්, ගම්මානයේ ස්ථිර ජනගහනය 2014 දී 150 සිට මේ වන විට 500 ඉක්මවා ඇත. තරුණයින් නැවත පැමිණීමත් සමඟ, ''ගම හැර යන දරුවන් '' සහ '';හිස් නිවෙස් වල කොටු වන වැඩිහිටියන් ''වැනි සමාජ ගැටලු විසඳෙමින් තිබේ. දැන් එම ගමේ වැසියන්ට ආනාගතය ගැන විශ්වාසයක් නිර්මාණය වී හමාර ය.

    චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) වරක් ප්‍රකාශ කළේ තිරසාර දරිද්‍රතාවය පිටුදැකීම සඳහා ව්‍යාපාර සංවර්ධනය මූලික ප්‍රවේශය බවත්, එය ස්වාධීන සංවර්ධනය සඳහා දිළිඳු ප්‍රදේශ සවිබල ගැන්වීම සඳහා දිගුකාලීන ක්‍රමයක් බවත් දිළිඳු ජනතාවට දේශීයව රැකියා ලබා ගැනීමට උපකාර වන බවත්ය. නන්යු (Nanyu) ගම්මානයේ පරිවර්තනය චීනයේ අනෙකුත් දුප්පත් ගම්මාන 128,000 ක් දේශීය ව්‍යාපාර සංවර්ධනය තුළින් දරිද්‍රතාවයෙන් මිදීම සඳහා ආදර්ශයක් ලෙස සේවය කරයි. පලතුරු වගාව, ගවයන් ඇති කිරීම, ග්‍රාමීය සංචාරක ව්‍යාපාරය, දරිද්‍රතාවය පිටුදැකීම සඳහා මූලික ප්‍රවේශ බවට පත්ව තිබේ. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රමුඛ කණ්ඩායම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ Liu Yongfu ට අනුව, ඔහු පසුගිය වසර කිහිපය තුළ සියයට 92 ක් ආර්ථික සංවර්ධන වැඩසටහන්වලට සම්බන්ධ වී ඇති අතර දුප්පත් පවුල්වලින් තුනෙන් දෙකකට වඩා ප්‍රතිලාභ ලබා ඇති

    බව ද ඔහු තහවුරු කරයි. නව ආකාරයේ ව්‍යාපාරික ආයතන සමඟ ඔවුන්ගේ සමීප සබඳතා හරහා සෑම තරාතිරමකම පාලනයන් දේශීය කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා යුවාන් ට්‍රිලියන 1 කට වඩා ආයෝජනය කිරීමත් සමඟ, බොහෝ දුප්පත් ගම්මාන සහ ප්‍රාන්ත දේශීය කර්මාන්ත නොමැති වීමේ සිට වඩා වැඩි සමෘද්ධියක් භුක්ති විඳීමට අසාමාන්‍ය ඉදිරි පිම්මක් පැමිණ තිබේ. දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රදේශවල සිටින
    නිලධාරීන්ගේ සහ ජනතාවගේ ධාරිතාව වැඩි දියුණු කර ඇත. මේ සියල්ල සෑම අතින්ම මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීමට පදනමක් බවට පත්ව තිබේ.

    නමුත් චීනය විසින් ඉදිරිපත් කරන ලද පොදු සමෘද්ධිය බටහිර රවටවල් විසින් අර්ථකථනය කර ඇත්තේ දුප්පතුන්ට උපකාර කිරීම සඳහා ධනවතුන් කොල්ලකෑමක් සිදුවන්නේ ය යනුවෙනි. නමුත් චීනය එය ප්‍රතික්ෂේප කරයි. මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ සිට වසර 70 තුළ, දරිද්‍රතාවයට එරෙහි සටන අදියර තුනක් හරහා ගොස් ඇත: ආයතනික ප්‍රතිසංස්කරණ හරහා දරිද්‍රතාවය සහන සඳහා පදනම දැමීම; මහා පරිමාණ ආර්ථික සංවර්ධනය මත පදනම් වූ දිළිඳුකම පිටුදැකීම; සහ ඉලක්කගත දිළිඳුකම පිටුදැකීම මගින් දිළිඳුකම තුරන් කිරීම ආදිය චීනයේ දිළිඳුකම පිටුදැකීමේ උත්සාහයන් පොදු සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත් පදනමක් දමා ඇත.

    පසුගිය වසර දහය තුළ මිනිසුන්ගේ ජීවනෝපාය ගොඩනැගීමේ දී චීනය ලබා ඇති ජයග්‍රහණ ඓතිහාසික එකක් යැයි එරට ජනාධිපතිවරයාගේ සිට බොහෝ විද්වතුන් පෙන්වා දෙන කරුණකි. එසේ වුවද, චීන රජය පවසන පරිදිම දරිද්‍රතාවයෙන් මිදීම තවමත් අවසන් රේඛාවට පැමිණ නැත. එය නව ජීවිතයක සහ නව උත්සාහයක ආරම්භක ලක්ෂයක් පමණි. චීනයේ ග්‍රාමීය සංවර්ධනය සඳහා වන චීන පදනමේ නියෝජ්‍ය මහ ලේකම්වරයා වන Wang Jun මහතා පෙන්වා දෙන්නේ චීනය මෙම ග්‍රාම සංවර්ධන ක්‍රමවේද තව තවත් ශක්තිමත් කිරීම ඉදිරි වසර කිහිපයේ දී සිදුකරන බවයි. ශීඝ්‍ර ලෙස ආර්ථික සංවර්ධනය කරා පියමනින රටක් වන චීනයේ ග්‍රාම සංවර්ධන පිලිවෙත් ගැඹුරින් අධ්‍යයනය කර ඒවායෙහි විභවතා ශ්‍රීලංකාවේ ගම්මාන වල ද ක්‍රියාත්මක කරන්නට හැකිනම් ඊට අදාල සම්පත් ඕනෑ තරම් මෙරට ගම්මානවල පවතී.

    ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර
    Shelton Indika Bandara

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya