ලොව පුරා බෝ නොවන රෝග හේතුවෙන් 80%ක් පමණ විශාල මරණ සංඛ්‍යාවක් සිදුවෙයි. වසරකට මිලියන 17ත් 18ත අතර සංඛ්‍යාවක් මෙම රෝගී තත්ත්වයන් නිසා මියයන අතර බෝ නොවන රෝග හේතුවෙන් මියයන 80%න් 34%ක්ම හෘද රෝග හේතුවෙන් මියයයි.
හෘද රෝග හේතුවෙන් වැඩි වශයෙන් මිය යන්නේ බටහිර රටවල් නොඑසේ නම් සංවර්ධිත රටවල් වලින් යැයි සිතුවද මේ වන විට හෘද රෝග හේතුවෙන් මිය යන්නේ බොහෝ විට ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින මධ්‍යම ආදායම් සහිත රටවල පිරිස් බව දත්ත විශ්ලේෂණයෙන් පෙනී ගොස් ඇත.
මෙම හෘද රෝගී තත්ත්වය මේ වන විට ශ්‍රී ලාංකික අපට බලපාන ප්‍රධාන කරුණක් වී ඇති අතර හෘද රෝග ඇතිවීමට ප්‍රධාන කාරණා කිහිපයක් බලපානු ලබයි. සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම, ව්‍යායාම නිසි ආකාරව සිදුනොකිරීම, මත්පැන් සහ දුම්වැටි වැඩි වශයෙන් භාවිතය ආදී ප්‍රධාන කාරණා මේ අතර වෙයි.
මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය මේ සම්බන්ධව ප්‍රාදේශීය වශයෙන් සහ පළාත් වශයෙන් විශාල වැඩසටහන් රාශියක් පවත්වාගෙන යන අතරම ප්‍රජාව මේ පිළිබදව දැනුවත් කිරීම මගින් හෘද රෝගී තත්ත්වයන් හදුනාගැනීමත් එය වළක්වාගැනීමට සහ එයට හැකි ඉක්මණින් ප්‍රතිකාර කිරීමටද හෘද රෝග නිසා සිදුවන මරණ අඩුකර ගැනීමටද මෙම කටයුතු වැදගත් වනු ඇත.
ලෝක හදවත් දිනයේ ජනතාව දැනුවත් කිරීම ප්‍රධාන පරමාර්ථයක් වශයෙන් සැලකෙන අතර මෙම දැනුවත් කිරීමේදී අංශ 02ක් සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කෙරෙයි. එනම් හදවත් රෝග ඇතිවීමේ අවධානම අඩු කිරීමත්, ඔබට හදවත් රෝගයක් ඇති වුවහොත් එයට නිසි ප්‍රතිකාර ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමයි.
බොහෝ අවස්ථා වල හදවත් රෝගයක් ඇති වුවහොත් එම රෝගයට ප්‍රතිකාර ගැනීමේ විශාල ප්‍රමාදයක් වෛද්‍යවරුන් නිරීක්ෂණය කර ඇති බව වාර්තා වෙයි. බොහෝ රෝගීන් හදවත් රෝගය වැළදී පැය ගණනකට හෝ දින ගණනකට පසු ප්‍රතිකාර සදහා රෝහල් වෙත පැමිණීම මෙයට උදාහරණයකි.
හෘදයාබාධයක් ඇති වනුයේ හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි අවහිර වීමෙනි. හෘද රෝග සදහා කුමන දියුණු ප්‍රතිකාර කම අප සතුව පැවතියද එම ප්‍රතිකාර ලබාදිය යුතු කාලය ඉක්මවා යෑමෙන් පසු ලබාදෙයි නම් එම ප්‍රතිකාරයේ ප්‍රයෝජනය නොලැබෙනු ඇත. හෘදයට එනම් හෘද මාංශපේශියට රුධිරය නොමැතිව යම් කාලසීමාවක් ජීවත් විය හැක. එම කාලය සාමාන්‍යයෙන් විනාඩි 30 සිට පැයක් පමණ වූ කාලයකි. පැය 06ත් 12ත් ඇතුලත හෘද මාංශපේශිය සම්පූර්ණයෙන් විනාශයට පත්වෙයි. හෘදයාබාධයක් වැළදී පැය 06ත් 12ක් ඉක්මවා ගියපසු එම අවහිර වූ රුධිර නාලිකාව යළි යථා තත්ත්වයට පත් කළද ඉන් කිසිදු සුවයක් නොදැනෙනු ඇත. හෘදයාබාධයක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී කාලය ඉතාමත් වැදගත් වන බැවින් හෘදයාබාධයක් සම්බන්ධයෙන් පළමු පැය “රන් පැය” වශයෙන් හදුන්වනු ලබයි.
උරස් කුහරයේ වම් පස හෘදය පිහිටා තිබුණද හෘදයාබාධයකදී ඇතිවන වේදනාව, අපහසුව නොහොත් හෘදය තදවීම සෑම වෙලෙහිම දැනෙන්නේ උරස් කුහරයෙහි වම් පසින් පමණක් නොවෙයි. එලෙස වම් පසින් පමණක් වේදනාවක් හට ගන්නේ යැයි පවතින වැරදි වැටහීම් හේතුවෙන් ජනතාව නොමග යා හැක.
හෘදයාබාධයක් නිසා ඇතිවන මෙම අපහසුතා විශාල වශයෙන් උරස් කුහරයේ දැනිය හැකි වුවද ඇතැම්විට මෙම වේදනාව උගුරේ තදවීමකට, ගෙල ප්‍රදේශයේ වේදනාවක් වශයෙන් හෝ හකු ප්‍රදේශයේ වේදනාවක් වශයෙන්ද පැමිණිය හැකියි.
පපු ප්‍රදේශයේ හෝ ගෙල ප්‍රදේශයේ ඇතිවන වේදනාව වම් අත දිගේ පහලට ගලායාම හෘද රෝගයක සුලභ රෝග ලක්ෂණයකි.
හෘදයාබාධයක් ගැස්රයිටීස් වලින් වෙන්කර හදුනාගැනීමට අපහසුවීම හේතුවෙන් බොහෝ පුද්ගලයින්ට අසීරු තත්ත්යන්ට මුහුණපෑමට සිදුවෙයි. උදරයේ උඩ කොටසේ ඇති වන වේදනාව ගැස්රයිටිස් නිසා බොහෝ විට ඇති වුවද මෙම රෝග ලක්ෂණයම හෘදයාබාධයකදී ඇතිවිය හැකිය.
හෘදයාබාධයකදී ඇතිවන වේදනාව උරස් කුහරයට පමණක් සීමා නොවන බව දැනුවත් වීම මගින් ඔබට කිසියම් සැක සහිත රෝග ලක්ෂණයක් ඇති වුවහොත් ඒ සදහා ඉතාමත් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමුවිය හැක.
සැක සහිත රෝග ලක්ෂණයක් මතු වුණු වහාම පවුලේ වෛද්‍යවරයා හමුවීමට හෝ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීමට කල්මරමින් නොසිට හැකි ඉක්මණින් පහසුකම් සහිත ළගම රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වෙයි.
රෝග ලක්ෂණ මතු වූ වහාම රෝගියා තනියෙන් සිටී නම් ඔහුගේ ළගම කෙනෙකුට දැනුම් දීමත් රෝගියා මෙන්ම ළගම කෙනා එම අවස්ථාවේ කලබල නොවී සන්සුන්ව කටයුතු කිරීමත් වැදගත් වන අතර හැකි ඉක්මණින් රෝහල වෙත යාමෙන් හෘදයාබාධයක් ඇති නොවූ කෙනෙකු වශයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා නිවෙස් වෙතයාමට හැක.
තොරතුරු ඊයේ (28) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුව ඇසුරිනි.
සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.