මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    HIV ගැන අලුත් කතාව

    අප්‍රේල් 27, 2022

    HIV ගැන අලුත් කතාව...

    ඉස්සර HIV කියන නම ඇහුනත් හැමෝගෙම මනසේ මැවෙන්නේ මහා භයංකාර දෙයක්.. HIV රෝගීන් ගැන සමාජයේ තියෙන්නේ වෙනස්ම ආකල්පයක්.. ඒ නිසාම කෙනෙකු තමන් HIV ආසාදිතයෙකු ලෙස ප්‍රසිද්ධියේ සමාජයේ හුවා දැක්වීමට මැළි වෙනවා.

    කාලයත් සමග බොහෝ ක්ෂේත්‍ර දියුණු වන විට අලුත් අලුත් තොරතුැරු අපගේ දැනුම්වත්භාවය වැඩිකර ගැනීමට එක් වෙනවා. HIV පිළිබද අලුත් කතාවත් ඒ වගේ.

    HIV ආසාදනය සදහා වර්තමානයේ ප්‍රතිකාර පවතිනවා. පරීක්ෂාවක් මගින් HIV ආසාදිතදැයි හදුනාගතහොත් ඒ සදහා ප්‍රතිකාර ලබාගැනීම මගින් එම රෝගය පාලනය කරගත හැකියි. රෝගය හදුනාගෙන නිසි ප්‍රතිකාර සදහා යොමු වීම මගින් පුද්ගලයෙකුට නියමිත ආයු කාලයම භුක්ති විදිය හැකියි. එනම් HIV නිසා ආයුෂ අඩුවෙන් භුක්තිවිද මිය යාමට සිදුවන්නේ නැහැ..

    ශ්‍රී ලංකාව HIV සහ උපදංශය බෝ වීම තුරන් කළ රටක් ලෙස 2019 සිට ලෝක සෞඛ්‍ය සංවිධානය අප රට පිළිගෙන සහතිකයක්ද ලබාදී තියෙනවා. 2012 වසරේ සිට මෙරට සෑම ගර්භණී මවකටම ඔවුන් දැනුවත් කර උපදංශය සදහා මෙන්ම HIV සදහාද පරීක්ෂාවන් සිදුකිරීම අරඹා ඇත. ගර්භණී කාලයේදී කෙනෙකුට මෙම රෝගී තත්ත්වයන් ඇති බවට හදුනා ගතහොත් එය දරුවාට සම්ප්‍රේෂණය වැළැක්වීම ප්‍රතිකාර ක්‍රම හරහා සිදුකෙරෙනු ඇත.මේ අනූව 2019 වසරේ සිට අප රට මවගෙන් දරුවාට HIV සහ උපදංශය සම්ප්‍රේෂණය තුරන් කළ රටක් වශයෙන් හදුනාගෙන ඇත.

    දැන් බිය වෙන්න දෙයක් නෙවෙයි HIV.. නිසි දැනුවත්වීම තුළින් පහසුවෙන් ඉන් වැළකිය හැකියි..

    අනාරක්ෂිත ලිංගික සබදතා වල යෙදෙන ඕනෑම අයෙකුට HIV වැළදීමේ අවදානමක් පවතියි. ශ්‍රී ලංකාවේද HIV සම්ප්‍රේෂණයේ ප්‍රධාන ක්‍රමය වන්නේ අනාරක්ෂිත ලිංගික සබදතායි. පිරිමින් සමග ලිංගිකව එක්වන පිරිමින්ට, ලිංගික ශ්‍රමිකයින්ට, මත්ද්‍රව්‍ය එන්නත් කරන පුද්ගලයින්ට,වෙරළාශ්‍රිත ශ්‍රමිකයින්ට, සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ටමෙන්ම බන්ධනාගාර වල සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ විශේෂිත වූ ඉහළ අවදානම් හැසිරීම් රටාවන් හේතුවෙන් HIV වැළදීමේ අවදානම වැඩි විය හැකියි.

    HIV ආසාදනයට ගොදුරු වීමට ඇති වැඩි අවදානම හේතුවෙන් තරුණයින් සහ සංක්‍රමණික සේවකයින් කෙරෙහි විශේෂ අවදානයක් යොමුකළ යුතුය.

    ශ්‍රී ලංකාව තුළ HIV පරීක්ෂණ සහ සත්කාර සේවා රටපුරා ස්ථාපිත කරන ලද ලිංගාශ්‍රිත රෝග සායන 41ක් මගින් සපයනු ලැබෙයි. රෝග විනිශ්චය වැඩිදියුණු කිරීම සදහා ජාතික වැඩසටහන මගින් ක්ෂණික HIV පරීක්ෂණය සහ ස්වයං HIV පරීක්ෂණය හදුන්වාදීමෙන් HIV පරීක්ෂණ සදහා වැඩි අවස්ථාවන් ලබාදී ඇත.

    වර්තමානයෙහි පවතින ප්‍රතිකාර හේතුවෙන් HIV ආසාදනය පාලනය කළ හැකි දීර්ඝ කාලීන රෝගී තත්ත්වයක් බවට පත්වී ඇත. HIV ප්‍රතිකාරය සමග රුධිරයේ ඇති වෛරස් ප්‍රමාණය හදුනාගත නොහැකි මට්ටමට අඩුවූ පසු ආසාදිත පුද්ගලයින්ට සාමාන්‍ය ජීවිතයට ආසන්න ජීවිතයක් ගත කළ හැකි අතර ඔවුන්ගෙන් තව දුරටත් රෝගය බෝ වීමක්ද සිදු නොවෙයි.

    HIV සම්බන්ධ අපකීර්තියට සහ වෙනස්කම් කිරීමට එරෙහිව සටන් කිරීම මගින් HIV පරීක්ෂාව සදහා සුදුසු පරිසරයක් ගොඩනැගිය හැක. එනම් අනාරක්ෂිතව ලිංගිකව එක්වන ඕනෑම කෙනෙකුට HIV ආසාදනය විය හැකි බැවින් එය වැරදි හැසිරීම් ඇති පුද්ගලයින්ට පමණක් ඇතිවන රෝගයක් ලෙස නොසැලකිය යුතුයි. HIV සම්බන්ධ අපකීර්තිය සහ වෙනස්කොට සැලකීම හේතුවෙන් මිනිසුන් HIV සදහා පරීක්ෂා කරගැනීමට මැලිවෙයි.

    කෙනෙකු තම විශ්වාසවන්ත එකම සහකරුවා සමග අනාරක්ෂිතව එක්වීම මගින්ද ඔහු නොදැනුවත්ව එම සහකරුවා වෙනත් අනාරක්ෂිත සම්බන්ධතා පවත්වයි නම් එමගින් අදාල පුද්ගලයාට නොදැනුවත්ව හෝ HIV ආසාදනයට ලක්වීමේ ඉඩකඩ පවතී.

    වැඩි අවදානම් ප්‍රජාව හා සම්බන්ධ සමාජීය වෙනස් මතිමතාන්තර මෙම කණ්ඩායම් වෙත ළගාවීමට ඇති ප්‍රධාන බාධකයක් වන අතර මෙම බාධකය ජයගැනීම සදහා සැමට සමාන අයිතිවාසිකම් සහ සෞඛ්‍ය පහසුකම් සදහා අවස්ථාවක් ලබාදීම අතිශයින් වැදගත් වෙයි.

    HIV පරීක්ෂා කර ගැනීමට කැමති ඕනෑම අයෙකුට www.know4sure.lk මගින් අන්තර්ජාලය හරහා හමුවීමක් වෙන්කරගත හැක. නිවසටම HIV ස්වයං පරීක්ෂණ කට්ටලයක් ලබාගැනීමට - HIV ස්වයං පරීක්ෂණ සදහා 0716379192 අංකයෙන් ක්ෂණික ඇමතුම් ලබාදිය හැක. HIV - ස්වයං පරීක්ෂණ ෆේස්බුක් මගින්ද සම්බන්ධ වීමට හැකියාවක් ඇත.

    විශේෂාංගය සදහා කරුණු අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාව ඇසුරෙනි.

    HIV සම්බන්ධව තවදුරටත් අන්යත බියක් ඇති කරනොගනිමු... දැනුම්වත්වී ආරක්ෂා වෙමු.

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya