අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු වෛරස කාණ්ඩ 04යි- කොරෝනා වගේ නව ප්‍රභේද ඇති වෙන්නේ නැහැ

    ජනවාරි 23, 2022

    වත්මන් ලෝකයේ බහුතරයක් මුහුණපා සිටින ගෝලීය වසංගතය කොරෝනාවයි.

     කොරෝනා වෛරසයේ මූලික ලක්ෂණයක් වනුයේ වරින් වර වෙනස්වීම් වලට ලක්වෙමින් නව ප්‍රභේද හටගැනීමයි.. කොරෝනා වසංගත තත්ත්වය මැද අප රටේ පසුගිය දිනවල ඩෙංගු රෝගය ක්‍රමයෙන් හිස ඔසවන්නට වුණා.

    පසුගිය වසරේ අවසාන භාගයේ සහ මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ සුවිශාල වැඩිවීමක් ද වාර්තා වුණා. කොරෝනා වල මෙන් ඩෙංගු රෝගයේ නව ප්‍රභේද ඇති නොවුනත් ඩෙංගු රෝගය පතුරවන වෛරස කාණ්ඩ 04ක් පවතිනවා. ඩෙංගු 01, ඩෙංගු 02, ඩෙංගු 03 සහ ඩෙංගු 04 වශයෙන් පවතින මෙම වෛරස කාණ්ඩ කාලයෙන් කාලයට එක් එක් වෛරස් කාණ්ඩය වරින් වර ඉස්මතු වීමක් සිදුවෙනවා.

    අප රටේ 2017 වසරේ සිට වර්ෂ 03ක් පුරා ප්‍රමුඛවම දක්නට ලැබුණේ ඩෙංගු 02 වෛරස කාණ්ඩයෙන් රෝගීන් වාර්තා වීමයි. නමුත් මෙම වර්ෂයේදී සහ ගිය වසරේ අවසන් කාර්තුවේදී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් ඩෙංගු 03 වෛරස කාණ්ඩයෙන් රෝගීන් වාර්තා වීමක් සිදුවුණා. එනම් මෙම රෝගීන්ට ඩෙංගු රෝගය සෑදී ඇත්තේ ඩෙංගු 03 වෛරස කාණ්ඩයෙන් ආසාදනය වීමෙන්. මෙය කිසිසේත් නව ප්‍රභේදයක් නොවෙයි. මෙහිදී සිදුව ඇත්තේ දැනටත් රට තුළ පවතින ඩෙංගු වෛරස් කාණ්ඩ 04න් එක් කාණ්ඩයක් අනෙක් කාණ්ඩ අභිබවා ඉස්මතු වීමයි.

    සමස්ථයක් ලෙස මුළු රටේම දත්ත දෙස බැලීමේදී වැඩිපුරම රටපුරා සංසරණය වනුයේ ඩෙංගු 02 වෛරස් කාණ්ඩයයි. මේ දිනවල කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ඩෙංගු 03 වෛරස කාණ්ඩයෙන් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා.

    ඩෙංගු රෝගීන්ගේ මූලික රෝග ලක්ෂණ වන්නේ උණ, තදබල හිසරදය, ඔක්කාරය, වමනය, මස්පිඩු වේදනා, සන්ධි වේදනා, සමෙහි රතු පැහැ ලප හටගැනීම ආදියයි. මෙම ඕනෑම වෛරස කාණ්ඩයක් ආසාදනයේදී රෝග ලක්ෂණ මතුවන්නේද මෙලෙසයි.

    යම්කිසි පුද්ගලයෙක් එක් වෛරස කාණ්ඩයකින් ආසාදනයවී පළමුවර ඩෙංගු රෝගය වැළදුනහොත් ඔහුට එම වෛරසය සදහා තම ජීවිත කාලය සදහාම ප්‍රතිශක්තිකරණය නිර්මාණය වෙනවා.. එම වෛරස කාණ්ඩය නොවන වෙනත් වෛරස කාණ්ඩයකින් ඔහුට නැවතත් රෝගය වැළදීමේ හැකියාවක්ද පවතිනවා. එවිට එම රෝගීන් ඩෙංගු රක්තපාත තත්ත්වයට නොහොත් ඩෙංගු වල බරපතල තත්ත්වයට පත්වීමේ වැඩි අවධානමක් පවතිනවා.

    විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනතාව බහුතරයක් මේ වන විට තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව එක්වරක් හෝ ඩෙංගු වැළදී තිබිය හැකියි. එමනිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකිරීම වැදගත් වෙනවා. අලුත් වෛරස කාණ්ඩයක් ඉස්මතු වීමේදී බරපතල රෝගී තත්ත්වයට එනම් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

    ඩෙංගු සම්බන්ධව මෙම දැනුවත්කිරීම ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා විසින්   (19) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එළඹෙන 20, 21 දෙදින දීපව්‍යාප්තව සිදුකිරීමට නියමිත විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී සිදුකළා.

     

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya