පෙබරවාරි 04 යනු නිදහසේ සිටි ජාතියක් සිය ග්‍රහණයට හසු කරගෙන අවුරුදු ගණනාවක් තමා යටතේ තබාගත් ආක්‍රමණික බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව අතහැර දමා ගිය දිනයයි- මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේයේ 08 වන වගන්තියට අනුව පෙබරවාරි 04 වන දින නිදහස් දිනය නොවේ. එය ජාතික දිනයයි. මෙය නිදහස් දිනය ලෙස හැඳින්වීම ද සුදුසු නොවේ. එහිදී සලකා බැලිය යුතු ප්‍රධාන කාරණාව වන්නේ ජාතික නිදහස් දිනය ලෙස මෙදින තෝරා ගත්තේ ඇයි ද යන්න යි. ජාතියක් ලෙස පෙබරවාරි 04 වන දා නිදහස් දිනය සැමරීම සඳහා කිසිදු සාධාරණ හා යුක්ති සහගත හේතුවක් නොමැත.
පෙබරවාරි 04 යනු නිදහසේ සිටි ජාතියක් සිය ග්‍රහණයට හසු කරගෙන අවුරුදු ගණනාවක් තමා යටතේ තබාගත් ආක්‍රමණික බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව අතහැර දමා ගිය දිනය පමණි. එබැවින් මෙදින උත්සවශ්‍රීයෙන් සැමරිය යුතු
යැයි මා සිතන්නේ නැත. මෙය අප රට ලබා ගත් ජයග්‍රහණයේ දිනයක් නොවේ. ඒ අනුව මේ දිනයට රටේ කොඩිය ඔසවා අභිමානය ප්‍රදර්ශනය කිරීම කළ යුත්තක් ද?
එසේම අධිරාජ්‍යවාදීන් රටින් පිටව යන විට අධිකරණ අයිතිය, භාෂා අයිතිය, පරිපූරක අධ්‍යාපන හැකියාව මෙන්ම ජාතියක් වශයෙන් ස්වාධිනකරණයට අවශ්‍ය පසුබිම ද රැගෙන ගියේය. ඔවුන් අපව තවමත් තම ආධිපත්‍යය යටතේ තබාගෙන සිටී. ඒ නිසාම නිදහසේ අභිමානය ඉතා ඉහළින් සමරන්නට අපට හැකිද යන්න නැවත වරක් විමසිය යුතු කාරණාවකි. ආර්ථික, දේශපාලන, අධ්‍යාපනික සහ විශේෂයෙන් අධිකරණ නිදහස ලැබෙන තාක් මෙරට නිදහස නොවන බව යැයි සිතා කටයුතු කළ යුතුය.
සැබෑ නිදහසේ අර්ථය එක් දිනකට පමණක් සීමා නොකර එය සමාජය තුළින් ජනතාව අතරට රැගෙන යා යුතුය- ආචාර්ය ටියුඩර් වීරසිංහ
අප අද දිනයේ සමරනු ලබන්නේ 72 වන නිදහස් දින සැමරුමයි. නිදහසේ අර්ථය පිළිබඳව සමාජයේ විවිධ මත ගණනාවක් පවතී. එහිදී එක් අදහසක් වනුයේ අප ලබා ගත් නිදහස නාමික නිදහස, ව්‍යාජ නිදහස හෝ සැබෑ නිදහසක් නොවන බවයි. එසේම අපට ලැබුණේ සාමාන්‍ය නිදහසක් බවත් ආර්ථික, දේශපාලන වැඩපිළිවෙළ කරගෙන යාමේ හැකියාව පමණක් ඉන් උදා විය.
1948 නිදහස ලැබූ දා පටන්ම බහු ආර්ථික, බහු සංස්කෘතික, විවිධ ජාතීන් ජීවත් වන සමාජයක් ලෙස රාජ්‍ය ව්‍යුහයක් ගොඩ නඟා ගත යුතුය යන ගැටළුව එකල ද පැවතුණි. එම ගැටලුව විසඳා ගැනීමට ජාතියක් වශයෙන් 72 වන නිදහස් දිනය සමරන මොහොතේදී ද නොහැකි වී ඇත. අධිරාජ්‍යවාදී නිදහස ලබා ගත් මොහොතේ සිටම ආර්ථික වශයෙන් ධනවාදී, සමාජවාදී, මිශ්‍ර, විවෘත ආර්ථික ප්‍රතිපත්ති රැසක් වෙත ප්‍රවිෂ්ට වුවද මානව,
සමාජයීය, ආර්ථික හා පාරිසරික තත්ත්වයන් මත ස්වාධීන සංවර්ධන ප්‍රතිපත්තියක් අප රට තුළ ස්ථාපිත වී නොමැත. පොදු ලාංකීය දෘෂ්ටිවාදයක් මතවාදයක් දැක්මක් ලාංකිකයන් තුළ අදටත් හඳුනා ගත නොහැක. එනම් ඔවුන් සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස තවමත් ජාතීන් වශයෙන් වෙන්ව සිටියි. මෙවැනි විශාල අර්බුද ගණනාවක් අප ඉදිරියේ පවතී.
එමෙන්ම ගෝලීය සමාජය තුළ විවිධ බලවේගයන්ට අප නතු වීමත් සමග පශ්චාත් නිදහස් යුගය තුළ විශාල ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වී ඇත. විසිඑක් වන සියවසේ දෙවන දශකය තුළ ගෝලීය උපරි රාජ්‍යය, ජාතික රාජ්‍යය දෙස බලන විට නව යටත්විජිතවාදයක් නිර්මාණය වෙමින් පවතී. 72 වන නිදහස සමරන මොහොතේ ද නිදහස පිළිබඳ සැබෑ අර්ථය මත අප සැබැවින්ම නිදහස් ද යන ගැටලුව මතු වේ. සැබෑ නිදහසේ අර්ථය එක් දිනකට පමණක් සීමා නොකර එය සමාජය තුළින් ජනතාව අතරට රැගෙන යා යුතුය.
ජාතියක් රටක් සමාජයක් වශයෙන් තීරණ ගැනීමටත් ස්වාධීන සංවර්ධන ප්‍රතිපත්තියක්, ස්වාධීන දැක්මක් ගොඩ නඟා ගැනීමට කටයුතු කිරීමට හැකි නම් එය සැබෑ නිදහස යි.
භෞතික මෙන්ම භෞතික නොවන සංවර්ධනය ස්ථාපිත කෙරෙන ශිෂ්ඨාචාරවත් සංස්කෘතියක් මත නැගී සිටීමට කාලය එළඹ ඇත - ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර
සෞභාග්‍යය, සශ්‍රීකත්වය අද වන විට අප රටට වගේම සමස්ත ලොවටම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වී ඇත. අප ජාතියක් වශයෙන් පරාධීන යුග කිහිපයක් පසු කරමින් පැමිණි ගමන්මගෙහි හෙට දිනට නිදහස ලැබී දශක හතක් ඉක්ම ගොස්ය. භෞතික මෙන්ම භෞතික නොවන සංවර්ධනය ස්ථාපිත කෙරෙන ශිෂ්ඨාචාරවත් සංස්කෘතියක් මත නැගී සිටීමට කාලය එළඹ ඇත. අද වන විට පුද්ගල නිරෝගීභාවය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක්ද සමස්ත සමාජ ව්‍යුහය තුළම ප්‍රතිනිර්මාණය වී ඇත. එසේම අප රට තුළ දේශපාලන අස්ථාවරත්වය මෙන්ම විශාල ණය බරකින් යුතුව ආර්ථික වශයෙන් වුවද සුවිශාල පසුබෑමක් පවතී. කෙසේ වුවද අප ශ්‍රී ලාංකීය ලෙස නිදහස් ජාතියක් වශයෙන් අධීෂ්ඨානශීලි ලෙස නැගී සිටිය යුතුය.
සෞභාග්‍ය දැක්ම හරහා සියලු දෙනා ගමන් කරමින් හරයාත්මක නිදහසක් සාක්ෂාත් කර ගන්නා අතරතුර රට නැවත ගොඩ නැංවීමේ කාර්යභාරය ශ්‍රී ලාංකිකයාගේ වගකීම බවට පත්ව ඇත- මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
1948 පෙබරවාරි 04 වන දින ජාතියක් වශයෙන් අප ලබාගත් නිදහසට අද දිනයේදී වසර72 ක් සපිරේ. අප රටේ ජාතික නිදහස් අරගලය ඇති වූයේ බුද්ධිමය හා ශාස්ත්‍රීය අරගලයක් වශයෙනි. එනම් මෙම අරගලය ව්‍යවස්ථාමය ව්‍යාපාරයක් ලෙස ආරම්භ වුණි.
එහිදී අනගාරික ධර්මපාලතුමා, හික්කඩුවේ සුමංගල හිමි වැනි ජාතික බුද්ධිමතුන් මෙහිදී නිදහස පිළිබඳ කතිකාවතක් සමාජය තුළ ප්‍රතිනිර්මාණය කරන්නට විය.
නිදහසින් පසුව එළඹි 1956 දී බණ්ඩාරනායක ආණ්ඩුවත් සමගින් ඇති වූ සමාජ පෙරළියත් සමගින් දේශපාලනික ක්ෂේත්‍රයේ ගමන්මග චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, මහින්ද රාජපක්ෂ මහතා, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය මත දිගු ගමනක් තීරණය විය. එම ගමන්මගෙහි සුවිශේෂි සන්ධිස්ථානයක් වශයෙන් මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමත් සමගින් රටේ නව දැක්මක් ස්ථාපිත වී ඇත.
අප නිදහස ලබාගෙන දීර්ඝ කාලයක් ගතව තිබුණද මේ මොහොතේද සමාජ ව්‍යුහයේ සුවිශාල ගැටළුකාරී තත්ත්වයක් උද්ගත ව ඇත. නිෂ්පාදන ආර්ථිකය, අධ්‍යාපනික ක්‍රියාවලිය මෙන්ම දේශපාලනික ව්‍යුහයේද මතවාදීමය වෙනසක් ගොඩ නැංවිය යුතු කාලය යි. සෞභාග්‍ය දැක්ම හරහා සියලු දෙනා ගමන් කරමින් හරයාත්මක නිදහසක් සාක්ෂාත් කර ගන්නා අතරතුර රට නැවත ගොඩ නැංවීමේ කාර්යභාරය සමස්ත ශ්‍රී ලාංකිකයාගේ වගකීම බවට පත්ව ඇත.
සටහන- තනූජා