අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී සිදු කළ විශේෂ ප්‍රකාශය

    ජූලි 05, 2018

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී සිදු කළ විශේෂ ප්‍රකාශය

    ගරු කතානායකතුමනි,

    හම්බන්තොට වරාය පිළිබඳව පසුගිය දින නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පලවූ වාර්තාවක් සම්බන්ධයෙන් ජනතාව අතරත් මාධ්‍ය අතරත් විශාල කතාබහක් ඇති වුනා. මේ සම්බන්ධව මෙම ගරු සභාව ඉදිරියේ කරුණු කිහිපයක් පැහැදිළි කිරීම සුදුසු යැයි මා කල්පනා කලා.

     
    හම්බන්තොට වරායේ ඉදිකිරීම් සඳහා රාජපක්ෂ ආණ්ඩුව විසින් ඩොලර් මිලියන 1320 ක ණය මුදලක් චීනයෙන් ණයට ගත්තා. නමුත් වරායට නැව් ගෙන්න ගන්න ශක්තියක් තිබුනේ නෑ. 2015 ජනාධිපතිවරණ අවස්ථාව වන විට මෙය විශාල ප්‍රශ්නයක්ව තිබුනා. නැව් එන්නේ නැති වරායක් හදන්න අරගත්තු මේ ණය කන්දරාව ගෙවන්න රජයට ආදායමක් තිබුනේ නෑ. මෙම ණය ගෙවීම විශාල ප්‍රශ්නයක්ව තිබුනා. වරායෙන් කිසිම ආදායමක් ආවේ නැහැ. සිදුවුනේ තව තවත් පාඩුවුන එකයි. 2011 සිට මේ දක්වා හම්බන්තොට වරායේ පාඩුව රුපියල් බිලියන 47 යි. රටට ඉතා අහිතකර මෙම වරාය ප්‍රශ්නයට විසදුමක් සෙවීම යහපාලන රජයේ මැතිවරණ පොරොන්දුවක් ද වුනා.

    අපට තිබුනේ තෝරාගැනීම් දෙකයි එකක් මේ ණය ගිවිසුම නීති විරෝධී බවට තීරණය කරලා ඉදිරි කටයුතු කරන එක. අනෙක් විකල්පය වුනේ චීන රජය සමග සාකච්ඡා කිරීම. අපි පළමුව චීන රජය සමග සාකච්ඡා කලා.

    ගරු කතානායකතුමනි,

    අප රජය බලයට පත් වූ වහාම මෙම ප්‍රශ්නය විසදීම පිළිබඳ සාකච්ඡා ආරම්භකලා. සුදු අලියෙක් ව තිබූ වරායෙන් ප්‍රයෝජනයක් ගතහැකි ආකාරයත් මහා ණය කන්දෙන් නිදහස් විය හැකි ආකාරයත් අප සාකච්ඡා කලා. ජනාධිපතිතුමත් පළමුව චීන රජය සමඟ කතාකලා.

     
    අප රජයේ මතය වූයේ වරායේ මෙහෙයුම් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව සමාගමකට පැවරීම තුලින් ණය බරින් නිදහස් වීමත් හම්බන්තොට වරාය ලාභ ලබන නැව් ගෙන්නා ගත හැකි වරායක් බවට පත් කිරීමත්. අප රජය මෙම ස්ථාවරයේ දිගටම රැදී සිටියා. මෙම ස්ථාවරය සඳහා චීන රජයෙන් කිසිදු පීඩනයක් එල්ල නොවූ බව මම වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා.

     
    චීන රජයෙන් කල ඉල්ලීම වූයේ වරාය මෙහෙයුම් කටයුතු සඳහා පළමුවෙන් චීන සමාගම් වලින් යෝජනා කැදවන ලෙසයි. ඒ අනුව චින සමාගම් වලින් විවෘත යෝජනා කැදවනු ලැබුවා. අපවෙත ලැබුණු යෝජනා අතරින් වඩාත්ම වාසි දායක යෝජනාව වූයේ චයිනා මර්චන්ට් පොර්ට් සමාගම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවයි. ඩොලර් මිලියන එක්දහස් අසූවක ආයෝජනයකට ඔවුන් එකඟ වුනා.

    චීන ජනාධිපති තුමත්, චීන රජයත් මේ සම්බන්ධව පූර්ණ එකඟතාවය පලකලා. ඒ අනුව චයිනා මර්චන්ට් පොර්ට් සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව පිහිටුවන ලබන සමාගමක් යටතේ හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත 2016 දෙසැම්බර් 08 වන දින ගිවිසුමකට ඇතුලත් වුනා. ඒ අනුව චයිනා මර්චන්ට් පෝර්ට් සමාගමෙන් 2017 දෙසැම්බර් 22 දින ඩොලර් මිලියන 293 කුත්, 2018 ජනවාරි 28 දින ඩොලර් මිලියන 97 කුත් ශ්‍රී ලංකා රජයට ගෙවනු ලැබුවා. ඉතිරි ඩොලර් මිලියන 584 මේ වනවිට වරාය අධිකාරියට ගෙවා තිබෙනවා. මේ අප රජය මෙන්ම මේ රටේ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව මා කියන්න කැමතියි.

    රාජපක්ෂලා ඩොලර් මිලියන ගනනින් ණය වෙලා නැව් නැති වරායක් හැදුවා. ණයෙනුත් නිදහස් වෙලා හම්බන්තොට වරාය නැව් එන වරායක් බවට පත් කරන්නත් අපට හැකි වුනා. වරාය විකිණීමක් මෙතන කිසිසේත්ම සිදු වෙලා නැහැ. වරායේ මෙහෙයුම් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව සමාගමකින් සිදුකිරීම පමණයි සිදු වන්නේ. හම්බන්තොට වරාය ඉදිරියේදී දියුණු වරායක් බවට පත් වේවි.

    එසේම මෙම වරාය කිසිදු යුදමය අරමුණක් සඳහා යොදා ගන්නේ නැහැ. ඒ බව පැහැදිළිව චයිනා මර්චන්ට් ගිවිසුමේ සඳහන් වෙනවා. චීන ජනාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේදීත් අපගේ ස්ථාවරය ඉතා පැහැදිළිව ප්‍රකාශකර තිබෙනවා.

    ගරු කතානායකතුමනි,

     
    නැව් නැති වරාය වගේම අහස් යානා එන්නේ නැති ගුවන් තොටුපලකුත් මත්තල තිබෙනවා. ඒකත් රාජපක්ෂ ණයක්. මත්තල ගුවන්තොටුපල පිළිබඳවත් අප පළමුව චීන රජය සමඟ සාකච්ඡා කලා. නමුත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ඒ නිසා අප ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඉදිරියේදී මත්තල ගුවන්තොටුපලේ ණයෙනුත් නිදහස් වී ගුවන්යානා පැමිනෙන ගුවන්තොටුපලක් බවට මත්තල ගුවන්තොටුපල පත්වෙන බව මට විශ්වාසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya