අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නාමල් උයන රෝස තිරුවාන කන්ද සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අවධානය

    ජූනි 25, 2018

    පුරා වසර 27 ක පමණ කාලයක් මුළුල්ලේ මනුෂ්‍ය වාසයකින් තොරව එහෙත් ජාතික, ආගමික හා පාරිසරික වටිනාකමකින් සමන්විත මෙතෙක් වනවාසී රාහුල හිමියන් භාරයේ තිබූ ජාතික නාමල් උයන රෝස තිරුවාන කන්දේ පරිපාලන හා නඩත්තු කටයුතු පසුගියදා ගිවිසුමකින් මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා දෙනු ලැබීය.

    මේ සමඟම නාමල් උයන රෝස තිරුවාන කන්ද සංස්කෘතික කලාපයක් ලෙස වර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව ජාතික නාමල් උයන කේන්ද්‍ර කර ගනිමින් පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සංවර්ධනය කිරීමට ද අපේක්ෂිතයි.

    මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් ප්‍රදේශයේ තරුණ තරුණියන්ට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා ලබාදීමටත් අපේක්ෂා කරන අතර මේ වන විටත් ප්‍රදේශයේ තරුණයන් 05 දෙනෙකුට රැකියා අවස්ථා ලබා දී ඇත.

    මෙම කලාපය පුළුල් සංවර්ධන මාවතක් කරා යොමු කිරීමේදී ප්‍රධාන කරුණු 04 ක් කෙරෙහි අවධානය යොමු වී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.

    ඒ අනුව රෝස තිරුවාන කන්දේ ඇති භූ විද්‍යාත්මක, උද්භිද විද්‍යාත්මක හා සත්ව විද්‍යාත්මක වැදගත්කම සහ 08 වෙනි සියවසේ සිට වැදගත්වන බෞද්ධ නගර සංකීරණ පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

    namal2සංචාරකයින් ආකර්ශනය කර ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් රෝස තිරුවාන කන්ද සංවර්ධනය කිරීමේදී එහි ඇති ජෛව විවිධත්වය සහ පාෂාණ පිළිබඳව පර්යේෂණ පවත්වනු ලබන ආයතනයක් මෙන්ම ආධ්‍යාත්මික හා අධ්‍යාපනික සංවර්ධන ආයතනයක් වශයෙන් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරයි.

    ඓතිහාසික නාමල් උයන රෝස තිරුවාන කන්ද අක්කර 2000 ක පමණ භූමි භාගයක් පුරා ව්‍යාප්තව ඇති අතර, රෝස තිරුවාන කඳු වැටිය අක්කර 600 ක පමණ ව්‍යාප්ත වී ඇත. දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමේදී ඔවුන්ට මෙම ප්‍රදේශය නැරඹීම පහසු කරනු වස් කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම කෙරෙහි ද මේ වන විට අවධානය යොමු වී ඇත.

    රෝස තිරුවාන කන්ද ආසන්නයේ ඇති සීගිරිය, දඹුල්ල වැනි ප්‍රදේශ නැරඹීමට එන දේශීය හා විදේශීය සංචාරකයින් මෙම ප්‍රදේශයට ගෙන්වා ගැනීමටත්, සීගිරිය, දඹුල්ල සහ නාමල් උයන අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කරමින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනිමටත් අපේක්ෂිතයි.

    පාෂාණ පිළිබඳව පර්යේෂණයන්හි නිරත විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන්ට ඒ සඳහා සුදුසුකම්ලත් විශ්වවිද්‍යාල පිහිටා ඇත්තේ ග්‍රීසියේ පමණි. නමුත් මෙහිදී විදේශීය රටවල විද්‍යාර්ථීන්ට මෙන්ම ශ්‍රී ලාංකික විද්‍යාර්ථින්ට රෝස තිරුවාන කන්ද ආශ්‍රිතව එවැනි පර්යේෂණ සිදු කිරීමට අවකාශ සැලසෙන අතර, ඒ හරහා ශ්‍රී ලංකාවට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට අවකාශ සැලසෙනු ඇත. තවද පුරා විද්‍යාව, පරිසර විද්‍යාව හා භූ විද්‍යාව පිළිබදව පර්යේෂණ සිදු කිරීමටද මෙම විද්‍යාර්ථීන්ට අවස්ථාව උදාවේ.

    මීට අමතරව පාරිසරික මෙන්ම ආගමික වටිනාකමකින් යුත් මෙම ප්‍රදේශයට ආධ්‍යාත්මික සුවය ලබා ගැනීම සඳහා භාවනා කිරීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්ට අවශ්‍ය කරන පහසුකම් පුළුල් කරමින් සංවර්ධනය කිරීමටද අපේක්ෂිතය.

    තවද අනාගතයේදී පාසැල් දරුවන්ගේ සහ සංචාරකයින්ගේ පරිශීලනය සඳහා ජාතික වැදගත්කමකින් යුත් සුවිශේෂී වූ දැව කෞතුකාගාරයක් මෙම ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීමටද යෝජිතයි.

    ශ්‍රී ලංකාවට සංචාරකයින් ආකර්ශනය කර ගැනීම තුළින් විදේශීය රටවලට ශ්‍රී ලංකාව පිළිබඳව යහපත් ප්‍රතිරූපයක් ගොඩ නැගීමටත්, ඒ හරහා වැඩි වැඩියෙන් සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීම තුළින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමටත් මෙම ව්‍යාපෘතිය තුළින් අවකාශ සැලසෙනු ඇත.

    මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරනු ලැබූ ජාතික නාමල් උයන රෝස තිරුවාන කන්ද නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවය ජූලි මස 26 වෙනි දින අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව රෝස තිරුවාන කන්ද නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ. රාහුල හිමියෝ මෙම අදහස් පළ කරන ලද්දේ පසු ගියදා (24) රෝස තිරුවාන කන්ද නාමල් උයන නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ මාධ්‍යවේදීන් අමතමිනි.

     

    ඩබ්.එම්. ශාන්තප්‍රිය
    අංශ ප්‍රධානී (ප්‍රචාරක)
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya