මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිදු වූවායැයි පවසන යුද අපරාධ පිළිබඳ සොයා බලන්නට අවසර දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම පාර්ලිමේන්තුවට

    ජූනි 11, 2014

    මෙරට සිදු වූවායැයි පවසන යුද අපරාධ පිළිබඳ සොයා බලන්නට පත් කර ඇතැයි කියන පුද්ගලයකු මෙහි පැමිණ ඒ සම්බන්ධයෙන් සොයා බලන්නට සහ පරීක්ෂණ පවත්වන්නට අවසර ඉල්ලා ඇති බව පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊට ඉඩ දෙනවාද නැද්ද යන්න පාර්ලිමේන්තුවෙන් විමසා බැලීම තම අදහස බව මැදිරිගිරිය ජාතික පාසලේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරමින් පැවසීය.


    මැදිරිගිරිය ජාතික පාසලේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරා දෙමින් ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව:


    මම ධීවර ඇමති කාලේ මේ මැදිරිගිරියට ඇවිල්ලා ධීවර ගම්මානයක් හැදුවා. ඊට පස්සේ අගමැති කාලේ ඇවිල්ලා පාරවල් විවෘත කළා. ඒ කාලේ මේ පළාතට ටිකක් එහායින් කොටි එහා මෙහා යනවා. එදා මේ ප‍්‍රදේශවලට කොටි ත‍්‍රස්තවාදින් පහර දුන්න අන්දම ඔබට තවම මතක ඇතියි මම විශ්වාස කරනවා.


    එහෙම තිබුණු කාලෙක 2005 දී ජනාධිපතිවරණයට මම මුහුණ දෙනකොට මගෙන් මේ සියලු ජනතාව ඉල්ලුවේ මේ කොටි උවදුරෙන් අපිව බේරලා දෙන්න කියලා. වෙන කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. මම ඇහුවම තව මොනවද  ඕනේ කියලා නෑ අපිට මුලින් මේක කරලා දෙන්න ඒ ඇති කියලා කිව්වා.


    හැබැයි ඊට පස්සේ අපි මහින්ද චින්තන වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කළා. දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට මැතිවරණ ප‍්‍රකාශයක් ස්ථීර වැඩපිළිවෙළක් බවට; චින්තනයක් බවට පත් වුණ පළමු අවස්ථාව මෙය.


    අපි මේ රට ත‍්‍රස්තවාදයෙන් නිදහස් කර ගත්තා. ත‍්‍රස්තවාදින්ට අයිති වෙලා තිබුණු තුනෙන් දෙකක මුහුදු තීරය අපි ආපහු ලබා ගත්තා. ඒ වගේම මුළු රටම අපි නිදහස් කරගත්තා. ඊට පස්සේ අප තබපු ඊළඟ පියවර තමයි මේ රට සංවර්ධනය කිරීම. රට සංවර්ධනය කරන්න අපි මුලින්ම පාරවල් ටික හදන්න පටන් ගත්තා. එදා මම මැදමුලනේ ඉඳලා එනකොට කොළඹ, රත්මලානට ඇවිල්ලා තමයි කාපට් පාරකට ඇතුල් වුණේ. ඒ යුගයේ පැය ගණන් අපි ආවා. අතරමඟ නතර කරලා තේ බිව්වා. බත් කෑවා. එහෙම යුගයක අපි හිටියා. අද ඒක වෙනස් වෙලා. එදා පැය අටක් ගිය ගමන අද පැයයි විනාඩි විස්සෙන් කොළඹට එනවා. එහෙම යුගයක් අද රටට උදාවෙලා. මේ මැදිරිගිරියේ මන්තී‍්‍රවරු එදා පැය 06ක් කොළඹට ගියා. අතරමග නැවතිලා තේ බීලා ගියා. අද මේ කට්ටිය උදේට නැගිටලා උදේ තේ එක බොන්න කොළඹට යනවා. ඉතින් මේ වෙනස ක‍්‍රමානුකූලව ඇති වුණා.


    මේ පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ පාරවල් තවත් කි.මී. 200ක් කාපට් කරන්න මේ පාර මුදල් වෙන් කළා. මොකද මේ සංවර්ධනයත් එක්ක තමයි අපි ඉදිරියට යන්න ඕන. රටක් සංවර්ධනය කරන්න පාරවල් ටික තියෙන්න  ඕන, විදුලිය තියෙන්න ඕන. එදා සියයට 40ක් තිබුණ විදුලිය අද සියයට 96.5ක් තියෙනවා ගෙවල්වලට. මේ පිළිබඳ අපි සංතෝෂ වෙනවා.


    දැන් අපිට තියෙනවා තවත් කාර්යයක්. ඊළඟ පියවර තමයි කංකසන්තුරේ ඉඳලා දෙවුන්දර තුඩුවට යනකන් සියලු ජනතාවටම පිරිසිදු පානීය ජලය ලබා දීම. ඒ සඳහා මේ මැදිගිරියට අපි මුදල් වෙන් කරලා තියනවා. හෙට අනිද්දම මහා ජල යෝජනා ක‍්‍රමයක් තමුන්නාන්සේලා වෙනුවෙන් ආරම්භ වේවි. ඒ වැඩපිළිවෙළ තමයි අපි දියත් කරන්නේ.


    අපට තියෙනවා එයිට වඩා විශාල කාර්ය භාර්යයක්. මේ කොච්චර සංවර්ධනය කළත් අපේ දරුවන් සංවර්ධනය වෙන්නේ නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා තමයි මේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළේ.


    මට මතකයි මම 70 මන්තී‍්‍රවරයෙක් විදිහට ඉන්නකොට හම්බන්තොට දිස්ති‍්‍රක්කයට තිබ්බේ ඒ ගේ‍්‍රඩ් පාසල් එකයි. හම්බන්තොට එකක් තියෙන කොට උතුරේ යාපනයට පමණක් 37ක් තිබුණා. ඒක තමයි එදා තිබුණු වෙනස. අද ඒ වෙනස; වෙනස් කරගෙන අපි ඉදිරියට යනවා.


    අද මේ මැදිරිගිරිය පාසල සුපර් ගේ‍්‍රඩ් පාසලක්. මේ පාසලේ විද්‍යා අංශය, කලා අංශය තියෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයට නොමැති, විශාඛා විද්‍යාලයට නොමැති තවත් එක විෂය ධාරාවක් ඔබේ පාසලට තියෙනවා. ඒ තමයි තාක්ෂණ විද්‍යාව. මේකයි වෙනස.


    මේකේ වටිනාකම බලන්න. හැමදේම කොළඹට විතරක් තිබුණු තත්ත්වය අපි කොළඹින් ගමට ගෙනල්ලා තියෙනවා. අපි දන්නවා හොඳ පාසලක් තියන කොට වටේ තියෙන පොඩි පාසල් ටික වැහෙනවා. ළමයි දහ දෙනයි, ගුරුවරු විසි පස් දෙනයි. එවැනි පාසලුත් තිබුණා. ඒවා වැහිලා යනවා. මොකද අර ළමයි ටික කොච්චර දුර වුණත් හොඳ පාසලට එනවා. දැන් ඒක ක‍්‍රමානුකූලව වෙනස්වෙලා තියෙනවා. දැන් මේ පාසලේ ඉඩ කඩ තියෙනවා. ඕනතරම් මේ පාසල දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒක අපි කළ යුතු කාර්යයක් වශයෙන් අපි දකිනවා.


    මොකද නිදහස ලැබුණයින් පස්සේ මේ අවුරුදු ගණනාවම පස්සෙන් හිටපු රටක අපි අපේ දරුවා උඩට ගෙනල්ලා තියෙන එකට මම හිතන්නේ නැහැ කාටවත් අපිට දොස් කියන්න පුළුන්වන් කමක් තියෙනවා කියලා. ඒක අපේ යුතුකමක් සහ වගකීමක්. ගමේ ඉපදුණ නිසා අපට තියෙනවා ගම පිළිබඳ හැඟීමක්. එය ප‍්‍රසිද්ධියේ කියන්න අපි බය වෙන්නේ නැහැ. නමුත් ඒකෙන් කියන්නේ නෑ අනිත් අයට අසාධාරණයක් කරනවා කියලා. නගරයේ සමාන අයිතිවාසිකම් ගමේ දරුවන්ටත් ලබා දිය යුතුයි කියන දැඩි විශ්වාසයේ සහ මතයේ අපි ඉන්නවා කියලා පැහැදිලිව කියන්න  ඕන.


    ඒ නිසා අපේ යුතුකම හා වගකීම අපි ඉටු කරන්න ලෑස්ති වෙලා තියෙනවා. ඒකෙන් ප‍්‍රයෝජන ලබා ගන්න. මම සංතෝෂ වෙනවා අද එනකොට මම දැක්කා තොරණක් හදලා තියෙනවා මේ පාසලේ ක්‍රීඩාංගණයේ. ඉතින් මම ඇහුවා මේ තොරණ කරන්නේ කවුද කියලා, මම හිතුවේ මැදිරිගිරියේ දානපතිතුමා කරනවා කියලා. ඒත් මේ විදුහල්පතිතුමා කිව්වා මේ පාසලේ තාක්ෂණ විෂයධාරාව හදාරණ දරුවෝ තමයි මේ තොරණ සකසලා තියෙන්නේ, විදුලි ආලෝකය සපයලා තියෙන්නේ කියලා. එහෙම කියන කොට මට ලොකු සංතෝෂයක් ඇති වුණා. ලොකු ආඩම්බරයක් ඇති වුණා. මොකද අපේ දරුවන්ට අද එවැනි කාර්ය භාර්යයක් කරන්න ආත්ම ශක්තිය හදලා දීලා තියෙනවා. ඒක මම හිතන්නේ මේ සියලුදෙනාට තියෙන සංතෝෂයක්. ඒ ඔවුන්ගේ හැකියාව, දෑත හුරුවීම, මම හිතන්නේ මම මේ තාක්ෂණ විද්‍යාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒක මේ අධ්‍යාපන ඇමතිතුමා හොඳින් පැහැදිලි කළා.


    මොකද මේකේ තියෙන වැදගත්කම අවබෝධ කරලා දෙන්න එතුමා ඉතා මහන්සියක් ගන්නවා. මේ වැඩපිළිවෙළ අපි කි‍්‍රයාත්මක කරනවා. හැබැයි මේක දිහා බලාගෙන ඉන්න පුළුවන්කමක් නැහැ සමහරුන්ට. මොකද මේක දිහා ඉරිසියාවෙන් බලනවා. සමහරු මාධ්‍ය මගින් අධ්‍යාපනයට පහර දෙනවා. කම්පියුටර් නැහැ කියනවා.


    මම 2005 මේ රට භාර ගන්නකොට මේ රටේ තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම තිබුනේ සියයට 3යි. ඒකත් තිබුණේ කොළඹ අවට තමයි. අද ඒක සියයට 50ට ගිහිල්ලා. ඒකට හේතුව ගමට මේ තොරුතුරු තාක්ෂණය ගියා. නැණසල හරහා ගියා. පාසල් හරහා ගමට තොරතුරු තාක්ෂණය ගියා. ඒ පිළිබඳ අවබෝධයක් ලැබුණා. උනන්දුවක් ඇති වුණා.


    අනුරාධපුරයේ ගමක් තියෙනවා, තොරතුරු තාක්ෂණයෙන් ඒ අය ඉහළට ගිහිල්ලා තියෙනවා. ගොවි ජනතාව තොරතුරු තාක්ෂණයෙන් තම මිල ගණන් දැන ගන්නවා. අන්තර්ජාලය හරහා පත්තරය කියවනවා. මේ තත්ත්වයට ගමට අපි මේවා අරගෙන ගිහින් තියෙනවා. මේ තමයි හොඳ පැත්ත. හැබැයි මේකේ නරකත් තියෙනවා. මේ නරකින් බැහැර වෙන්න දරුවන් යොමු කරන්න අපේ වැඩිහිටියෝ දැන ගන්න  ඕන.


    නරක එනවා කියලා හොඳ දේ වහලා දාන්න අපි සූදානම් නැහැ. එක පිරිසක් මුළු රටේම ප‍්‍රචාරයක් යැව්වා අපි මේක තහනම් කරන්න යනවා කියලා. මේ වගේ ප‍්‍රශ්නවලට මුහුණදෙමින් තමයි අපි ඉදිරියට යන්නේ. ඒ නිසා අපි ඒක එතරම් ගණන් ගන්නේ නැහැ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. පහර දීම, අපහාස කිරීම සමහරුන්ගේ කලාවක්. ඒක අපි බැහැර කරලා තියෙනවා. අපි උපදෙස් දීලා තියෙන්නේ පුද්ගලික වශයෙන් අපහාස කරන්න එපා කියලා. නමුත් වැඩියෙන් බොරු කියන කොට අපිට උත්තර දෙන්නත් සිද්ධ වෙනවා.


    අපි මේ ත‍්‍රස්තවාදය අවසන් කරලා, රට සංවර්ධනය කරලා, අධ්‍යාපනයේ දියුණුවත් ඇති කරලා, මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කරන්න පියවර අරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ ගොව් ජනතාවට තවමත් රුපියල් 350ට පොහොර දීලා, රක්ෂණය කරන්න පියවර අරගෙන තියෙනවා. පොහොර මිල එක සැරයක් අටදහසක් ගණනකට ගියා. ඒත් අපි මේ ගොවි ජනතාවට ලබා දුන්නේ රුපියල් 350ට. ඒ මේ රට ස්වයංපෝෂිත විය යුතුයි කියලා අපි විශ්වාස කරන නිසා. මේ ගොවිජනතාව මුළු රටට බත් දුන්නා.

    හැබැයි අපිට නියඟය පාලනය කරන්න බැහැ. ජල ගැල්ම පාලනය කරන්න පුළුවන්කමක් නැහැ එක්තරා දුරකට. ස්වභාව ධර්මයෙන් යම් යම් අවස්ථාවල ඇතිවන කි‍්‍රයාකාරකම්වලට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ පිළිබඳ අවබෝධ කරගෙන තමයි අපි මේ ගමන යන්නේ.


    මේ මැදිරිගිරියට මොරගහකන්ද ව්‍යාපාරය ආරම්භ කරගෙන යනවා. තමුන්නාන්සේලා වෙනුවෙන් කරන්න ඕන සියලු දේ අපි කිසිම පැකිළීමක් නැතිව කරනවා. නියඟය කාලයේ වුණත් වතුර එතන රඳවලා තියලා ගොවිතැන් කරන්න අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙළ අපි කි‍්‍රයාත්මක කරලා තියෙනවා.


    රට නිදහස් කර ගැනීමේ ඒ වගකීම ඉටු කළහම; දැන් අපට මාස 06කට සැරයක් ජිනීවා ගිහිල්ලා උත්තර බඳින්න වෙලා තියෙනවා. දැන් අපට ලියුමකුත් එවලා තියෙනවා අපි පුද්ගලයෙක් පත්කරලා තියෙනවා යුධ අපරාධ ගැන සොයන්න, ඔහුට මෙහෙට ඇවිල්ලා පරීක්ෂණ පවත්වන්න, හාරා අවුස්සන්නට ඉඩ දෙන්න කියලා.


    පාර්ලිමේන්තුව තමයි මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ වගකීම පවරනවා. මේ අයට එන්න දෙන්න  ඕනද?, එහෙම නැත්නම් එන්න දෙන්න ඕන නැද්ද? කියලා තීන්දු කරන්න. මොකද ඩොලර්වලට යටවුණ පිරිසක් හැම වෙලාවෙම මේ රට පාවලා දෙන්න සූදානම් වෙලා ඉන්නවා කියන එක මතක් කරලා දෙන්න  ඕන.

    මේ අවස්ථාව ඉතාම සංතෝෂදායක අවස්ථාවක්. මේ ගමට ඇවිල්ලා ඔබ මුණ ගැහිලා කතා කරන්න අවස්ථාවක් ලබාදීම පිළිබඳ මම නැවත වාරයක් ස්තූති වෙනවා.


    2014 ජූනි 10

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya