අගමැතිගේ සම්පූර්ණ කථාව මෙසේය.
“ අද මේ උත්සවයට සහභාගි වීමට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ, ස්වදේශ කටයුතු අමාත්‍යතුමාට මගේ ස්තුතිය පිරිනමනවා. එතුමාත්, එතුමාගේ ලේකම්තුමාත්, මේ අමාත්‍යාංශයත් රජයේ පරිපාලනය, රාජ්‍ය කළමණාකාරිත්වය දියුණු කරන්නට විශාල උනන්දුවක් රැගෙන කටයුතු කළා. ඕනෑම රජයක සාර්ථකත්වය රදා පවතින්නේ එවැනි උනන්දුවක් මත බව කිව යුතුයි.
ඇත්ත වශයෙන්ම එම තත්වය කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳව වන ග්‍රන්ථය හැදැරීමෙන් හොඳට වැටහෙනවා. එදා කෞටිල්‍ය විශේෂයෙන්ම රටක් පාලනය කරන්නේ කෙසේද යන්න ගැන විශාල ග්‍රන්ථයක් කළා. එම ග්‍රන්ථය කී දෙනෙක් කියවා තිබෙනවා ද කියා මම දන්නේ නැහැ. නමුත් එම ග්‍රන්ථය අනිවාර්යයෙන්ම කියවිය යුතු වටිනා ග්‍රන්ථයක් බව මම සඳහන් කරන්නට කැමතියි.
එදා රජතුමාට තිබුණේ කාර්යක්‍ෂම පාලනයක් ගෙනයමින් රාජ්‍ය පාලන කටයුතු හරි හැටියට කරන්නයි. අද ඒ මූල ධර්මයම බලපාන ඊට වඩා වෙනස් සංකල්පයක් තිබෙනවා. රජයේ සේවාවන් කලට වේලාවට ලබාගැනිමට ජනතාවට අයිතියක් තිබීම ඒ සංකල්පයයි. තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් තමන්ගේ සමෘද්ධි දීමනාව කලට වේලාවට ලබාගැනීම, කෘෂිකර්ම කාර්යාලයට ගොස් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගනිමින් කෘෂිකර්මාන්තය දියුණු කර ගැනීම, පොලිසියට ගොස් තමා විසින් කළ පැමිණිල්ල කඩිනමින් විභාගයට ගෙන ඉන් ප්‍රතිඵලයක් අත්කර ගැනීම, රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගැනීම. අන්න එවැනි ජනතා සේවා සාර්ථකව සිදු වුනොත් පමණයි අපට මේ රටේ යහපත් පාලනයක් පවත්වාගෙන යාමට හැකි වන්නේ.
එසේනම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ අපි ආරම්භ කළ යහපාලනය, ඒ වගේම ප්‍රධාන පක්ෂ දෙක එකට සම්බන්ධ කොට ඇතිකර තිබෙන ජාතික ආණ්ඩුව මගින් ජනතාව බලාපොරොත්තු වන සේවය සහ අයිතිය ලබා දීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. එමගින් රාජ්‍ය සේවයේ මේ කලාපයේ හොඳම රාජ්‍ය සේවයක් බවට පත්කරන්නට අපට අවකාශ ලැබී තිබෙනවා. පැරණි සිවිල් සේවය සිලෝන් සිවිල් සර්විස් එදා තුන්වන ලෝකයේ ප්‍රධානම පරිපාලන ආයතනයයි. අපිට අද එතනට එන්න පුළුවන්. එම සේවාවන් ජනතාවට ලබාදෙන්න පුළුවන්ද කියලා අපි හිතන්න ඕනෑ.
පළමුවෙන්ම අපිට තිබෙන්නේ ආණ්ඩුවක් හැටියට සාකච්ඡා කිරීමට හා මෙය ජනතාවගේ අයිතියක් වශයෙන් පිළිගැනීමයි. තමන්ට රජයේ සේවා සැපයුම් ලබාගන්න, කෙනෙක් රජයේ කාර්යාලයකට ගිය අවස්ථාවේදී තමන්ගේ ප්‍රශ්නයකට පිළිතුරක් හෝ විසදුමක් ලබාගන්න, එය අද ජනතාවගේ සේවයක් හැටියට පිළිඅරගෙන ලබන වර්ෂයේදී පුරවැසි ප්‍රඥප්තියක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජනතාව රජයේ පාලනයෙන් බලාපොරොත්තුවන සේවාවන් හා ප්‍රතිඵල ලබාගන්න, ඒ සඳහා කාලසීමාවන් යොදවන්න, ඒ කාලසීමාව අනුව වැඩකටයුතු කරන්න අපට තිබෙනවා. දැන් අවුරුදු 20කට විතර පෙර එක්සත් රාජධානියේ ජෝන් මේජර් අගමැතිතුමා යටතේ එවැනි ප්‍රඥප්තියක් ඉදිරිපත් වුණා.
වර්තමානයේ ඊටත් වඩා දියුණුවක් එහි දක්නට පුළුවන්. ඒ ජනතාවට කලට වේලාවට අවශ්‍ය සේවාවන් ලබාගැනීමට පුළුවන්. ඒකට අදාලව නීති ගණනාවක් තිබෙනවා. එකක් නම් තොරතුරු ලබාගැනීමේ අයිතියයි. ඉදිරියේදි එන මාස දෙක තුන ඇතුලතදී එම පනත සම්මත කරනවා. එසේ නොමැතිව රජයේ සේවය තුළ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට අමාරුයි. තමන් කලට වේලාවට ප්‍රශ්න විසදනවා. ඕනෑම පුද්ගලයෙකුට රටේ ඕනෑම පුරවැසියෙකුට ඒ කාරණා විසදා ගැනීමට තොරතුරු ලබාගැනීමට අයිතියක් තිබෙනවා. අන්න ඒක පළමු වන කාරණයයි.
දෙවෙනි කරුණ නම් පොදු සේවා සැපයීමයි. ඒ සදහා නීතියෙන් වෙනම අධිකාරියක් ඇතිකරනවා. ඒ වැඩකටයුතු කළමණාකරණය කරන්නේ මේ අමාත්‍යාංශය යටතේයි. අධිකාරියෙන් සිදුවන්නේ ඒ වැඩ කටයුතු හරියාකාරව ඉටුවෙනවාද නැද්ද යන්න සොයා බැලීමයි. ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ වැඩකටයුතු කළට වේලාට සිදුවන්නේ නැහැ කියලා එතැනට ලියවිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට ඉංගී්‍රසියෙන් කියන්නේ Public Service Delivery Authority කියලයි. එමගින් ජනතාවට පුළුවන් තමන්ගේ වැඩකටයුතු කරනවාද නැද්ද කියලා වාර්තා කරන්න. ගමේ ග්‍රාම සංවර්ධන සමිතියට, පාසල් සංවර්ධන සමිතියට, එමගින් ඉදිරියට යන්න පුළුවන්. ඒ වැඩකටයුතු මහ ආණ්ඩුවෙන්, පළාත් සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් සිදුවෙනවාද නැද්ද කියලා සොයා බලන්න පුළුවන්.
ඒ එක්කම විශාල ප්‍රශ්නයක් වී තිබෙන්නේ දූෂණයයි. දූෂණය පිළිබදව විනිවිදභාවයකින් යුතුව විභාග කරන්නට පුළුවන් ක්‍රම වේදයක් ගැන අපි සාකච්ඡා කරගෙන යනවා. එසේ නම් මේ නීති සියල්ලම වර්තමානයේ අළුතින් විශේෂයෙන්ම හොඳ පාලනයක් ඇති කරන්නට යහපත් පාලනයක් ඇති කරන්නට පුළුවන් ප්‍රධාන පියවරයන් හැටියට අපි හිතන්න ඕනැ. ඒවා ක්‍රියාත්මක කරන්නට පෙර රජයේ සේවයේ සෑම අංශයක් සමඟම සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම මෙහි වැදගත් කොටසක් භාරව තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටයි. පරිපාලනය පමණක් නොවෙයි. ග්‍රාමීය මට්ටමෙන් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමත් ඔවුන්ට භාරවී තිබෙනවා. සමහර ප්‍රදේශ, සමහර දිස්ත්‍රික්ක, සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වර්ග සැතපුම් පනහක, හැටක, හැත්තෑවක පමණ පරිසරයක් තිබෙනවා. මෙවැනි තැන්වල දියුණුවක් ඇතිකරන්නේ කෙසේද?. මීට වඩා කුඩා ප්‍රදේශයක විශේෂයෙන් මාලදිවයින ජනරජයේ විශේෂයෙන් හඳුනාගත් තමන්ට බලපාන ආර්ථික වැඩකටයුතු දියුණු කොට තිබෙනවා. එකක් ධීවර කර්මාන්තයයි. අනික අළුතින් ඇතිකළ සංචාරක ව්‍යාපාරයයි. වර්ග සැතපුම් 250ක් 300ක් තිබෙන වතුරවත් නැති දූපතක් වන සිංගප්පුරුව ලී ක්වාන් යු අගමැතිතුමා තම රට ගැන සිතා බලා ආර්ථික වශයෙන් ආසියාවේ බලවත් රටක් බවට පත්කළා.
අපි ඒ තත්වය ගැන අධ්‍යයනය කොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඒ වැඩ කටයුතු කරන්නට අවශ්‍ය පුහුණුව ලබාදෙන්නට ක්‍රියාකරගෙන යනවා. ඒ එක්කම ජනතාවගේ වැඩකටයුතු කරන්නට තවත් ආයතනයක් ඇතිකරනවා. මේ රටේ ග්‍රාම නිලධාරි කොට්ඨාස එකට එකතුකර ග්‍රාම රාජ්‍ය කේන්ද්‍ර 2500ක් ඇති කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සදහා කටයුතු කළ යුත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයයි.
මෙහි දේශපාලනයක් නැහැ. පොදු සමිති එකතු කර ගනිමින් මණ්ඩලයක් ඇති කර ඒ සේවාවන් ලබාදෙනවා. ඒ මණ්ඩල මගින් තමයි මේ යෝජනා කරන අධිකාරියට වාර්තා කරන්නට යන්නේ. අපි කොහොමද මේ ප්‍රදේශ දියුණු කරන්නේ. ජනතාව එකට එකතුවී ජන පාලන ක්ෂේත්‍රයක් ඇති කිරීමටයි අපි දැන් සාකච්ඡා කරගෙන යන්නේ. මීට වඩා හොඳට අපි දිස්ත්‍රික්ක මට්ටමෙන් කළ සම්බන්ධිකරණයක් ගැන මට සිහිපත් වෙනවා. 1979 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ අපි දිස්ත්‍රික් සංවර්ධන සභා ඇති කළා. ඒ සංවර්ධන සභා දිස්ත්‍රික් ඇමතිවරයා සමග විශාල වැඩකොටසක් ඇති කළා. අද දිස්ත්‍රික් සංවර්ධන සභා ඇතිකරන්නට ක්‍රමයක් නැහැ. ඒ සඳහා පළාත් සභා තිබෙනවා. එසේනම් මධ්‍යම රජයත් පළාත් සභාවත් එකතුව මේ වැඩකටයුතු දිස්ත්‍රික්ක මට්ටමෙන් සේවා ලබාදෙන ව්‍යුහයක් ඇති කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.
මේවා ඉදිරියට ගෙනියනවා නම් විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවසායක රජයේ ව්‍යාපාර කරන සංවිධාන සියල්ලම එක මණ්ඩලයක් යටතට ගෙනවිත්, වාණිජ මට්ටමෙන් ගෙනවිත් ජනතාවට ලාභ ලබාදෙන්නට අපට ඉඩකඩ ලැබෙනවා. මේ සියල්ලක්ම කරන අතරේ අප කරන වැඩ කටයුතු කලට වේලාවට සිදුවෙනවාද නැද්ද යන්න පිළිබදව පරික්‍ෂා කළ යුතුයි. එසේ නම් සෑම අමාත්‍යාංශයකම, සෑම ආයතනයකම මේ වසර තුළ සිදු කරන වැඩකටයුතු රජයේ ආර්ථික හා සමාජ පරමාර්ථ හා ඉලක්ක අනුව ක්‍රියාත්මක වෙනවාද නැද්ද යන්න පරික්ෂා කිරීම සඳහා වූ වෙනම සමීක්ෂණ අංශයක් අගමැති කාර්යාලයේ පිහිටුවනවා. එහිදී අපි ක්‍රියාකරන්නේ මැලේසියා ආණ්ඩුවේ අගමැති කාර්යාලයේ තිබෙන සමීක්ෂණ අනුවයි. එමගින් කරන සෑම කටයුත්තක් පිළිබඳවම දැනගැනීමේ හැකියාව ලැබෙනවා.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්ත ආණ්ඩුවෙන් මට පෙන්වා දී තිබෙනවා එදා හැන්දෑවේ එහි මහ ඇමතිතුමාට පුළුවන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකින්ම (Collected) එදාට ලැබිලා තිබෙන ආදායම සහ වියදම කුමක්ද කියලා දැනගන්න. එහි එවැනි පරිපාලන ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. එසේ නම් අප ලබන දියුණුව වර්ෂයකට වරක් නොවෙයි මාස තුනෙන් තුනට සමීක්ෂණය කරන්න පුළුවන් තත්වයක් මෙමගින් ඇතිවෙන බව කිව යුතුයි.
මීට අමතරව වෙනම සමාන්තරව සමීක්ෂණය කරන්නට පාර්ලිමේන්තුවේ කාරක සභා අධීක්ෂණ කමිටු ඇතිකරනවා. වෙස්ට් මිනිස්ටර් ක්‍රමවල අධීක්ෂණ කමිටු ඇතිකරලා නැහැ. එම කමිටු ඇමෙරිකාවේ, යුරෝපිය පාර්ලිමේන්තුවේ හා ජර්මනියේ තිබෙනවා. ඒ ක්‍රමය මෙහාට ගෙන ආයුතුයි. ඒ ඒ විෂයන් අනුව. අපි එක එක අංශවල සමීක්ෂණ පවත්වනවා. පාර්ලිමේන්තුවේ කාරක සභාවේ සභාපතිවරු සාමාන්‍ය මන්ත්‍රිවරු, පසුපෙළ මන්ත්‍රිවරු, සමහර විට ඇමතිවරයෙක් වෙන්න පුළුවන්. පලපුරුද්ද ලබපු විපක්ෂයේ කෙනෙකු වෙන්න පුළුවන්, ආණ්ඩු පක්ෂයේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ගැන වෙනම සමීක්ෂණයක් කරනවා. මෙතෙක් කල් අපි පාලනය ගෙනිච්චේ ඇමතිතුමාලා පිළිතුරු දුන් යුගයයි. එමගින් අමාත්‍යාංශයේ අඩුපාඩුකම් එතනින් වසා ගන්න පුළුවන්. දැන් වෙනම පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කරන්න තිබෙනවා.
මේ රටේ මුල්‍ය පරිපාලනය ගැන මුදල් අමාත්‍යාංශයත්, අමාත්‍යාංශවලත් සමීක්ෂණය කරන්න පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ආරම්භ කරනවා. මේවා ගැන දැනට අපි ක්‍රියාකරගෙන යන්නේ. අපි කතානායකතුමා සමග සාකච්ඡා කළා. එන වසරේ ජනවාරි මාසයේ මෙම ආයතන ආරම්භ කරනවා. ඒ ආයතන ආරම්භ කරන්නේ අපේ ස්ථාවර නියෝග මේ සතියේ අනුමත කරලා. ඒ කටයුතු කරන්නට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිලි භාර අරගෙන ක්‍රියා කරනවා.
මේ වැඩපිළිවෙල යටතේ රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යාංශයටත් පළාත් මහ ඇමතිවරුන්ටත් විශේෂ කාර්ය භාරයක් අයත්ව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පුහුණුව තවදුටත් ලබාදීමට තිබෙනවා. මේ වැඩකටයුතු කරන්න පුළුවන්ද කියා ස්ලීඩා ආයතනය මාර්ගයෙන් පමණක් නොව අපි විශ්ව විද්‍යාලය සමගද සාකච්ඡා කරනවා. ඒ එක්කම මුදල් අමාත්‍යාංශයේ මුල්‍ය පිළිබද ආයතනයක් තිබෙනවා. ඊටත් අමතරව Institute of Policy Studies (ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය) සමඟ ද මම සාකච්ඡා කරනවා.
එහි අළුත් සභාපති රලම් සාලි මැතිතුමා සමග සාකච්ඡා කොට ඇමරිකාවේ නැතිනම් සිංගප්පුරුවේ ආණ්ඩුක්‍රම පිළිබද වෙනම පීඨයක් ඇති කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලනවා. එහි ඇති ප්‍රධානම ආයතනය හාවඩ් විශ්ව විද්‍යාලයේ ඇති ජෝන් එෆ් කෙනඩි ස්කුල් ඔෆ් ගවන්මන්ට් එම ආයතනය සමගත් වැඩ කටයුතු කරන්න ඕනෑ. මේ එක්කම රටේ ආර්ථිකය දියුණු කරන්නට ශ්‍රීලංකාවේ ආර්ථිකය පිළිබද සාකච්ඡා කරන්නට, ශ්‍රී ලංකා ඉකොනොමික් ෆෝරම් නම් වැඩසටහන ආරම්භ කරන්නට එන ජනවාරි මාසයේ 7 වෙනිදා 8 වෙනිදා ජෝන් සෝබස් මැතිතුමත්, මහාචාර්ය ජෝසප් ස්ටික්ලිට් මැතිතුමා ඇතුළු ආර්ථික හා සමාජ සේවා අංශයේ විශේෂඥයින් ගණනාවක් ශ්‍රීලංකාවට එනවා. ඒ එක්කම හාවඩ් විශ්ව විද්‍යාලයේ සෙන්ට්‍ර ෆෝ ඉන්ට්‍රනැෂනල් ඩිවලොප්මන්ට් හා සමග එකතු වෙන්නට ඒ ගැන සාකච්ඡා කරන්නට හා ආධාර ලබාදෙන්නට රිකාඩෝ හවුස්මන් මැතිතුමා මෙහි පැමිණෙනවා.
මේ අළුත් යාන්ත්‍රනය හදන්නට තවත් ආයතන ගණනාවක් සමග අපි සාකච්ඡා කරනවා. ඒ සදහා රාජ්‍ය අංශයේ නිලධාරිනුත්, පාර්ලිමේන්තුවෙත්, පළාත් සභාවලත්, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ටත් සහභාගි වෙන්නට අවස්ථාව ලැබෙන අතරම එම පුහුණුව එතන සිට ඉදිරියට ගෙන යාමට බලාපරොත්තු වෙනවා. මම මේ ගැන අද වචන ස්වල්පයක් කතා කරන්නේ අනාගතයේ අප යන ගමන් මාර්ගය ගැන කියන්නයි. අපට අවස්ථාව ලැබෙයි එන වර්ෂයේදි ඒවා ක්‍රියාත්මක කරලා මීටත් වඩා දැනුවත් වුණු මීටත් වඩා අත්දැකිම් ඇති මීටත් වඩා බලගතු පාර්ලිමේන්තුවක්, පළාත් සභාවක් ඒ වගේම හොද රාජ්‍ය සේවයක් මේ රටට ලබා දෙන්නට. අන්න ඒ කාර්ය භාරය ඉටු කළායින් පසු ජනතාවගේ මූලික අයිතිය ඉටුවන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා. “