එය වරෙක ලෝකයේ හොඳම වෙරළ යනුවෙන් හැඳින්වූ අදටත් ලොව හොඳම වෙරළ තීරයන්ගෙන් අට වැනිතැන දිනා සිටින දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද බැඳගත් මේ මනෝරමණීය උණවටුන වෙරළ තීරයට පිවිසි ඕනෑම පුද්ගලයෙකුට දැනෙනා හැඟීමකි.
මෙතරම් අපූර්වත්යෙන් යුත් විදේශ විනිමය උල්පතක් වන උණවටුන වෙරළ තීරය ශ‍්‍රී ලංකාව වටා ඇති කිලෝ මීටර් 1585ක් වූ වෙරළ තීරයෙන් සුන්දරම ස්ථානයක් ලෙස ලොව පුරා ප‍්‍රසිද්ධය. සුන්දර ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන්ගෙන් කොටසක් අප රටේ පෞරාණික සංස්‌කෘතික උරුමයන්, වනෝද්‍යාන නැරඹීමට කැමැත්තක් දක්‌වනවා සේම තවත් කොටසක් මනස්‌කාන්ත මුහුදු වෙරළේ පහස ලබමින් විනෝදවීමට කැමැත්තක් දක්වන්නේ මේ ස්වභාවධර්මයෙන්ම උරුම වූ සිහින පාරාදීසයක එක් දිනක් හෝ ගතකිරීමට ඇති ආශාව නිසා යැයි මට ද හැඟී ගියේය.
මුහුදේ වාරකන් කාලය ආරම්භ වී ඇති බැවින් මේ උණවටුනේ "ඕෆ් සීසන්" නොහොත් "සංචාරක අවාරය" යි. එසේ වුවත් සැලකිය යුතු තරම් විදේශ සංචාරකයන් පිරිසක් අද උණවටුන වෙරළේ අපමණ සුව විඳිනු පෙනුණි. උණවටුන මුහුදු වෙරළේ දිගා වී අව් රශ්මිය විඳිමින් පොත් කියවන්නන් ද තම දරුමල්ලන් සමඟ ජල ක්‍රීඩාවේ යෙදෙන්නන් ද මිහිරි පානයක් සමඟ වැල්ලේ හිඳ සතුටු සාමිචියේ යෙදෙන විදේශිකයෝ ද එහි වූහ.
වසර පුරාම සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් ද නැති මෙම වෙරළ තීරය තැඹිලි කපන්නාගේ සිට මහා බොජුන්හල් පවත්වන ව්‍යාපාරිකයාගේ ද අතමිට සරු කරවන විනෝද සාගරයකි. උණවටුන වෙරළ තීරය ජාත්‍යන්තරව කීර්තියට ලක්ව ඇත්තේ "ගෝල්ඩන් බීච්" (Golden Beach) හෙවත් "රන් වෙරළ" යන තේමාවෙනි. වසර අසූවක කාලසීමාව තුළ මෙරට ආර්ථිකයටත්, සංචාරක කර්මාන්තයටත් උණවටුන වෙරළ තීරයෙන් සැපයූවේ ඉමහත් දායකත්වයකි. සාමාන්‍යයෙන් එහි සංචාරක හෝටලයක දිනක ආදායම රුපියල් හැටදහස ඉක්මවයි. මාසයක ආදායම රුපියල් කෝටියකට ආසන්න වෙයි.
බැලූබැල්මට සිහින පාරාදීසයේ සංචාරක කර්මාන්තයේ වැඩි වෙනසක් නැත. එහෙත් හිරුඑළියත්, සයුරත් තිබුණත් සැපදායක විවේකයක් ලබන්නට තිබූ රන්වනින් බැබලී ගිය වැලිවැටියේ යම් වෙනසක් මම දුටුවෙමි. මුහුදේ දමා තිබූ දියකඩනයේ ද යම් කිසි වෙනසක් ද සිදු කෙරෙමින් තිබුණි. සංචාරක කර්මාන්තයේ තතු සොයා ගිය අපට පාරිසරික මෙන්ම කාලීන වශයෙන් වැදගත් වූ කරුණක් පිළිබඳ ව කතිකාවකට එළඹීමට එම පැහැදිලි සාක්ෂි ප්‍රමාණවත් විය.
රුපියල් ලක්ෂ 960ක් වැය කර 2012 ඔක්තෝබර්වල ඉදිකිරීම් අරඹා 2013 මැයි මාසයේ දී වැඩ අවසන් කරනු ලැබූ මෙම දියකඩනය වෙරළ ඛාදනය වැලැක්වීමට පසුගිය රජය විසින් දෙනු ලැබූ විසඳුමකි. මෙම දියකඩනය උණවටුනේ වැල්ල දේවාලය කෙළවර සිට මුහුදු මධ්‍යයේ මීටර 200ක් දිගට ගල් දමා ඉදිකරන ලද බැම්මකි.
තදබල ලෙස වෙරළ ඛාදනයක් සිදු වූ අවස්ථාවක මෙවැනි දියකඩනයක් නිර්මාණය කිරීමෙන් ඛාදනය නැවතුනේ දැයි අප අසා දැනගත්තේ උණවටුන වෙරළ තීරයේ හෝටල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන රූපසේන කොස්වත්තගේ මහතාගෙනි. වැල්ලේ ම ඉපිද පැය 24ම වැල්ලේ සිටිමින් වැල්ලේම ජීවිකාව සරිකර ගන්නා ව්‍යාපාරික ප්‍රජාව සේම වෙරළින් වැඩි ව්‍යාපාරික ප්‍රයෝජනයක් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙස ඔහු මේ පිළිබඳව නිරීක්ෂණයේ පසුවනු ඇතැයි අපි නිගමනය කළෙමු.
"වෙරළට දියකඩනයේ බලපෑම උපරිමයි. උණවටුන වෙරළ තීරයේ දිග කිලෝ මීටර 1.6ක් පමණවෙනවා. දියකඩනයේ බලපෑම නිසා ඉන් මීටර 1200ක් පමණ වන නැගෙනහිර වෙරළ ඛාදනය වෙලා තියෙනවා. දියකඩනය ඉදිකර පසු මාස තුනක් ගතවන විට නැගෙනහිර වෙරළේ වැලි බටහිර වෙරළට ගොඩගැසුණා. අපි කියන්නේ නැහැ කලින් මුහුදු කෑවේ නැහැ කියා. ඒක වාරකන් කාලයේ දී කොහොමත් සිදුවන දෙයක්. නමුත් වාරකන් අවසන් වූ වහාම යළි වෙරළ හැදෙනවා. මේ බැම්ම දැම්මට පස්සේ ඒ ස්වභාවික කි‍්‍රයාවලිය සිදුවෙන්නේ නැහැ. ඛාදනය වැලැක්වීමට බලකරමින් උණවටුන වෙරළ තීරයෙන් ජීවිකාව සරි කරගන්නා ලොකු, කුඩා ව්‍යාපාරකයන් හා ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණ පවා සිදු කළා." ඒ කොස්වත්තගේ මහතාගේ පැහැදිලි කිරීමයි.
දියකඩනය සෑදීම නිසා වෙරළ ඛාදනය පමණක් නොව ස්වභාවිකව නිර්මාණය වී තිබූ දියවැල් හා රළ තරංගවල සමතුලිතතාව බිඳීගොස් ඇති බවත් ජාත්‍යන්තර කීර්තියට පත් උණවටුනේ බොනවිස්ටා කොරල්පරය ද (Bonavista Coral Reef) වැලිවලින් වැසී යෑමට පටන්ගෙන ඇතැයි නාමිකව හැඳින්වීමට අකමැති වූ උණවටුන මුහුදේ කිමිදුම්කරුවෙකු අප හා ප්‍රකාශ කළේය.
මෙම උණවටුන සංචාරක පුරවරය නිර්මාණ වී ඇති මුහුදු බොක්ක ඉතා සංවේදී බව රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන්ත හෙට්ටිආරච්චි මහතා පවසා ඇතැයි රූපසේන කොස්වත්තගේ මහතා අප හා ප්‍රකාශ කළේය. මේ සංවේදී බව නොතකා කිසිදු විධිමත් ශක්‍යතා අධ්‍යනයකින් හෝ විද්‍යාත්මක පදනමක් හෝ නොමැතිව වෙරළ ඛාදනය නැවැත්වීමට යැයි පවසමින් පසුගිය රජය විසින් මෙම දියකඩනය ඉදිකරන ලදී.
අතිශයින් සැලකිය යුතු මෙවන් පාරිසරික ගැටලුවක් පිළිබඳව නොතකා හැරිය නොහැකි බැවින් අපි වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගෙන් ද කරුණු විමසුවෙමු. ඔහු ප්‍රකාශ කළ ආකාරයට මෙම දියකඩනය හේතුවෙන් උණවටුනේ නැගෙනහිර වෙරළ ඛාදනයට ලක් වෙනවාදැයි පරීක්ෂාකරමින් සිටින බවත් දැනට ඛාදනයට ලක්වී ඇති වෙරළ තීරය වැලි පුරවා නැවත යථාතත්ත්වයට පත්කිරීමට සියලු කි‍්‍රයාමාර්ග ගත් බවත් සියලු තත්ත්වය පරීක්ෂා කර බලා දියකඩනයේ මුහුදු කෙළවරේ සිට මීටර 100ක් මීටර තුනක් දක්වා ගැඹුරට ගල් ඉවත්කිරීමට ව්‍යාපෘතියක් දියත් කර ඇත.
මෙම තත්ත්වය පිළිබඳව පරික්ෂා කර බැලූ පසුව වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ඛාදනයට ලක්වී ඇති වෙරළ තීරය වැලි පුරවා වෙරළ සැකසීමට පියවර ගෙන ඇත. ඒ අනුව මේ වසරේ මාර්තු මස 19-20 දෙදින තුළ උණවටුනේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයට වැලි පොම්පකර නව වෙරළක් නිර්මාණය කර ඇත. දැන් අපිට උණවටුනේදී දක්නට ලැබෙන්නේ නිර්මාණය කරන ලද එම නව වෙරළ තීරයයි. එහෙත් මෙම වෙරළ ද ඛාදනයට ලක්වෙමින් පවතින අයුරු අපට දක්නට ලැබුණි.
මාස 2 1/2ක පමණ කාලයකට එතරම් පැහැදිලි ඛාදනයක් දක්නට ලැබේනම් මේ ගෙවෙනා වාරකන් කාලය නිමා වනවිට මෙම වෙරළෙන් කොපමණ කොටසක් ඛාදනයට ලක්වේ දැයි අපට නම් සිතා ගත හැකිවිය.
මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන්නේ අදාළ දියකඩනය ඉදිකළේ උණවටුනේ පැවති වෙරළ ඛාදනය නැවත්වීමට බවත් මේ වන විට වෙරළ තීරයේ විශාල ප‍්‍රදේශයක් ආරක්ෂා වී ඇති බවත්ය.
බටහිර වෙරළ කොනේ පිහිටා තිබෙන වැල්ලේ දේවාලයේ කපු මහතා වන කේ.ජී. චන්ද්‍රදාස මහතා මේ පිළිබඳ ව දැරුවේ මෙවන් අදහසකි.
“මම අවුරුදු 22ක් මේ දේවාලේ සේවය කළා. දියකඩනය හදන්න පෙර කෝවිල බැම්මත් මුහුදටම කඩාගෙන ගියා. දියකඩනය දැමීමත් සමඟ කෝවිල ආරක්ෂා වෙලා තියෙනවා. උණවටුනේ බටහිර වෙරළ කොටස රැකිලා තියෙන්නේ මෙම දියකඩනය නිසා. දියකඩනය ඉවත් කළොත් උණවටුනේ බටහිර වෙරළ කොටස නැවත ඛාදනය වෙන්න පටන් ගනීවි.“
එතැනින් නොනැවතුණු අපි දියකඩනයේ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳව ද තවදුරටත් විමසීම සඳහා එහි වැඩ කටයුතු පිරික්සමින් සිටි ගල් ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් බීඑස්පී සහ මෙන්ඩිස් කම්පැනියේ ව්‍යාපෘති කළමනාකරු ප්‍රසන්න බණ්ඩාර මහතා ද මුණගැසුනෙමු.
"දියකඩනයේ සම්පූර්ණ දිග මීටර් 200කි. ඉන් මීටර් 100ක් පමණ ඉවත් කිරීමට නියෝග ලැබී තිබෙනවා. ඉතුරු වන කොටස මුහුදු ජල මට්ටමට සකස් කරනවා. මේ වනවිට මීටර් 85-90 අතර ගැඹුර මීටර් 3ක් ඉවත් කර තිබෙනවා. දියකඩනයේ ඉවත් කිරීමේ කටයුතු මාර්තු මාසයේ දී ආරම්භ කළා. මේ දිනවල වාරකන් පටන් ගත් නිසා වැඩ කටයුතු මදක් පමාවෙලා තියෙනවා. වියදම රුපියල් මිලියන 369ක් පමණ වෙනවා." මේ ප්‍රසන්න බණ්ඩාර මහතාගේ පැහැදිලි කිරීම යි.
මුහුදු රළ ගසන වෙරළේ සිට මීටර් 25ත් 30ත් අතර ප‍්‍රමාණයකින් පළල් වූ ප‍්‍රදේශයක උණවටුන වෙරළේ වැලිවැටිය තැන්පත් වී තිබුණි. උණවටුනට පැමිණි සංචාරකයන්ගේ මනදොළ පිනවූයේ මේ වැලිවැටියයි. වසරේ එක් කාර්තුවකදී උණවටුන වෙරළ තීරය සුළු වශයෙන් ඛාදනයට ලක්වීම සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත් ඊළඟ කාර්තුවේදී ස්වභාවිකව යළිදු වැලිවැටිය නිර්මාණය විය.
අවන්හල් හිමියකු වන එස්. කුරුප්පු මහතා පැවසුවේ "මේ වගේ වෙරළක් නිර්මාණය කරගැනීමට අප යම් කැපකිරීමක් කළ යුතුයි. මේ ගල්වැටිත් ඉවත් කරල මුහුදුවැලිවලින් පෝෂණය කළොත් මේ වෙරළ තවත් සුන්දර වෙයි. මුහුදු ඛාදනය නිසා විශාල ප්‍රමාණයක් කැඩිල ගිහින්. මේ තත්ත්වය නැවතීමට පියවර ගතයුතුයි." යන්නයි. උණවටුනේ තවත් හෝටලයක අයිතිකරුවෙකු වූ ලින්දුල සහබන්දු මහතා කියා සිටියේ සංචාරක කර්මාන්තයට වැලිවලින් පෝෂණය වූ ලොකු වෙරළක් තිබීම වැදගත් බවයි. උණවටුන වෙරළේ තිබූ අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම සම්බන්ධව නම් ඔහු වෙරළ සංරක්‍ෂණහා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුවට ස්තූතිය ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් උණවටුන සංචාරක පුරවරයට නව රජයේ අවධානය යොමු ව ඇති බවත් මෙහි පැන නැගුණ පාරිසරික ගැටලු විසඳීමට පියවරක් තබා ඇති බවත් සියලු කරුණු සලකා බැලීමෙන් පෙනී ගියේය. මුහුද දෙස බලා වෙරළේ දිගා වී සිටි විදේශ සංචාරකයන් අතර වේල්ස් රාජ්‍යයේ සිට පැමිණි ඇඩම් සහ මැනොන් හෙල් යුවළ අසළට මා සේන්දුවූයේ උණවටුනේ රස පිළිබඳ ව ඔවුන්ගෙන් විමසීමට ය.
“ශ්‍රී ලංකාව බොහොම ලස්සන රටක්. ලංකාවට පැමිණ අප පළමුව ආවේ උණවටුනටයි. රන්වන් වැල්ල ආකර්ශණීයයි. හරිම සුන්දර මුහුදු තීරයක්. මගේ සහකාරිය ඡායාරූප ශිල්පය හදාරන සිසුවියක්. මේ ලස්සන ඇය ඡායාරූපගත කරන්නේ බොහොම කැමැත්තෙන්. මේ වෙරළ ටිකක් ඛාදනය වෙන්න පටන් අරගෙන වගේ. මේ ලස්සන පරිසරය රැකගැනීමට ඔබලා උත්සාහ කරන්න. අපි නැවතත් නිවාඩුවකට ලංකාවටම එනවා.“
ශ්‍රී ලංකාවේ සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වී තිබෙන අවධියක මෙම සංචාරක පාරාදීසයේ ව්‍යාපාරික ප්‍රජාවට නම් යහපත් දවසක් උදා වී ඇතැයි බාහිරින් බලා සිටින කවුරුත් සිතනා කරුණකි. ඒ පිළිබඳ ව ප්‍රකාශ කළ අවන්හල් හිමියෙකු වන එන්.ඒ.උපාලි මහතා, "පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව නම් වැඩි වෙලා. ඒත් පසුගිය කාලේ චීන, රුසියානු, ඉන්දියානු, බංග්ලාදේශ වැනි ආසියාතික රටවල සංචාරකයන් තමයි බහුලව දකින්නට ලැබුණෙ. යුරෝපීය හා බටහිර සංචාරකයන් මෙන් ඔවුන් අත දිග හැර වියදම් කරන්නේ නැහැ. ඉස්සර පැමිණි සංචාරකයන් මාස ගණන් මෙහෙ නැවතිලා හොඳට වියදම් කරලා විනෝද වෙලා තමා ආපහු පිටවෙන්නේ. නමුත් දැන් පැමිණෙන සංචාරකයන් සති දෙකකට වැඩි කාලයක් රැඳෙන්නෙ නෑ.“ යැයි පවසා සිටියේ ය.
උණවටුන වෙරළට පැමිණෙන විදේශිකයන්ට රෙදි අලෙවි කරන ජංගම වෙළෙන්දියක් වන අවුරුදු 42ක් වයසැති ප්‍රියන්ති මහත්මිය ප්‍රකාශ කළේ “අවුරුදු 3ක විතර කාලයක් පුරා මම මේ වෙළෙඳාම කරනවා. හබරාදූවෙන් රෙදි ගෙනත් සළු, සාටක මහල වෙරළෙ ඉන්න සංචාරකයන්ට විකුණනවා. දැන් ඉස්සර තරම්ම ලොකු වෙළෙදාමක් නෑ. හරි අමාරුවෙන් තමයි ජීවිතේ ගැට ගහගන්නේ. මගෙ මහත්තයත් වෙරළෙ ඇවිදලා තැඹිලි විකුණනවා.“
ඔවුන්ගේ ප්‍රකාශවලින් පෙනෙන්නේ සංචාරකයන්ගේ පැමිණීම පිළිබඳව ද සංචාරක කර්මාන්තයෙන් යැපෙන්නන්ට නම් ගැටලු තිබෙන බවයි. අතමිට සරු කර ගැනීම සඳහා සංචාරකයන් උණවටුනට වැඩි වශයෙන් ආකර්ශණය කරගැනීමට නම් තව තවත් මෙම සංචාරක පාරාදීසයේ පාරිසරික ගැටලු විසඳා වෙරළ, මුහුද හා වෙරළ සම්පත් ආරක්ෂා කර ගැනීමට නිසි බලධාරීන් පියවර ගතයුතුයි.
එබැවින් මේ ගැන වහාම බලධාරීන්ගේ අවධානය යොමු නොවුණහොත් උණවටුනේ සංචාරක කර්මාන්තය විනාශ වනු නියතය. 2013 වසරේ Lonely Planet ආයතනය විසින් හොඳම සංචාරක ගමනාන්තය ලෙස නම් කළ මුළු ලොවම ආකර්ශණය වූ උණවටුනේ, සංචාරක කර්මාන්තය බිඳ වැටී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අතුල් පහරක් එල්ල වනවා සේම උණවටුනේ සංචාරක කර්මාන්තය හා බැඳුනු ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සිය ජීවන වෘත්තීන් ද අහිමි වනු ඇත.
උණවටුන වෙරළේ පැය කිහිපයක් ගතකළ අපට බොහෝ දෙනාගේ අදහස් දැන ගැනීමට හැකිවිය. ඒ අතර මුලින්ම ඇත්තේ වෙරළ ඛාදනය නවත්වා උණවටුන යළිත් සංචාරක පාරාදීසයක් කිරීමට නම් ඉදිකර ඇති දියකඩනය මුළුමනින්ම ගලවා ඉවත්කිරීම හෝ එහි සියයට 80ක් ගලවා ඉවත් කළයුතු බවට සිදු කළ ප්‍රකාශයන් ය. දෙවැනි කරුණ ලෙස ඔවුන් පැවසුවේ මේ ගල්වැටිය ඉවත්කරන අතරම වැලි පොම්පකර ඛාදනය වූ වෙරළ යළි සකස් කළ යුතු බවයි.
නවරජයට දහසක් දේ කරන්නට ඇති බව සැබෑය. එහෙත් මෙවන් ජාතික සම්පතක් විනාශවීම වැලැක්වීමට මේ වෙත වැඩි අවධානයක් ලබා දී සුදුසු පියවර ගත යුතුමය. වෙරළ සංරක්ෂණයට පවතින නීතිය ක්‍රියාත්මක කරමින් සොබාදහමේ දායාදයක් වශයෙන් අපට උරුමකර දී තිබූ ඒ සුන්දර වෙරළ යළිත් රටට දායාද කිරීම වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වගකීම වේ. ඔවුන් ඒ වගකීම නිසි අයුරින් ඉටුකරන්නේයැයි අපි බලාපොරොත්තු වෙමු.
හිරුඑළියෙන් නැහැවුණු උණවටුනේ අප විඳි ඒ සුමුදු සුසිනිදු වැලි වෙරළේ පහස, නිසසල මුහුදු ජල තටාකයේ සිසිලස නැවතත් අපට අහිමි නොවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
- ශෂිනි ප්‍රනාන්දු -