ධීවර වරායන් ඇතුළු වෙරළ කලාපයේ අපද්‍රව්‍ය කළමනාකරණයට විශේෂ වැඩපිළිවෙළක්

ධීවර වරායන් ඇතුළු වෙරළ කලාපයේ අපද්‍රව්‍ය කළමනාකරණයට විශේෂ වැඩපිළිවෙළක්
  • SocialShare:

ශ්‍රී ලංකාවේ වෙරළ කලාපය තුළ අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම  හේතුවෙන් ගැටලු රැසක් උද්ගත ව ඇති අතර වෙරළ කලාපය තුළ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

මෙලෙස වෙරළ කලාපය තුළ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පහත සඳහන් පියවර ගැනීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

* ජාතික කමිටුවට අයත් ආයතන හා අනෙකුත් පාර්ශවකාර ආයතන සමඟ එක්ව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සකස් කරනු ලැබ ඇති 'වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන යෝජනාවලිය' ක්‍රියාවට නැංවීම.

* එම යෝජනාවලියෙහි ඇතුළත් වගකීම් වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා සකසනු ලැබ ඇති ජංගම යෙදවුම (mobile app) භාවිතයට ගැනීම.

* ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීමට අදාළව වගකීම් පැවරෙන පරිදි 'නිෂ්පාදකයාගේ විස්තීර්ණ වූ වගකීම' යන මූලධර්මය හඳුන්වා දීම හා ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනත හා 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් ප්ලාස්ටික් ඇතුළු විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් රට අභ්‍යන්තරයේ සිට ගංගා ඇළ දොළ ඔස්සේ සාගරය වෙත යොමු වීම මෙන්ම, ධීවර වරායන්, ධීවර තොටුපොළවල් සහ නැංගුරම් ස්ථාන ආශ්‍රිතව ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නිසි ක්‍රමවේදයක් නොමැතිව බැහැර කිරීම වැනි ක්‍රියා හේතුවෙන් සෞඛ්‍ය, සමාජීය හා පාරිසරික ගැටලු රැසක් උද්ගත ව ඇති අතර, ශ්‍රී ලංකාවේ වෙරළ කලාපය තුළ ව්‍යාප්තව පවතින සංවේදී පරිසර පද්ධති තර්ජනයට ලක් ව තිබේ.

දිවයිනේ වෙරළ කලාපය තුළ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ආයතන ගණනාවක් පවතින නමුත්, එම ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීමේ ගැටලුවට පිළියමක් වශයෙන් මේ වන විට සාගරීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ජාතික කමිටුව සහ වෙරළබඩ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සම්බන්ධ කර ගනිමින් ප්‍රාදේශීය කමිටු 84ක් ස්ථාපිත කරනු ලැබ ඇත.