ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ජනතාවට වඩාත් ගුණාත්මක හා උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද පස්මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණය ලබන 04 වැනිදා පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
මෙම පස්මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට රුපියල් මිලියන 857කට අධික මුදලක් වැය කර ඇත. සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2,900කට අධික මුදලක් වැය කිරීමට අපේක්ෂා කෙරේ.
නව වාට්ටු සංකීර්ණයේ බිම් මහල සහ පළමු මහල මාතෘ වාට්ටු සඳහා වෙන්කර ඇති අතර දෙවන හා තෙවන මහල් කාන්තා ශල්‍ය වාට්ටු ලෙස ස්ථාපිත කර ඇත. සිව්වන මහලේ අති නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විත නවීන ශල්‍යාගාර හතරක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර තිබේ.
මේ වන විට පස්මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් අවසන් කර ඇති අතර, නුදුරු කාලයේදී එහි සිව්වන මහලේ නවීන ශල්‍යාගාර හතරද ස්ථාපිත කිරීමට නියමිතය.


