කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ

කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ
  • SocialShare:

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්  අද(09) ආරම්භ විය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සැලසුම් යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ව්‍යාපෘතිය යටතේ නව තෙමහල් සේවා ගොඩනැගිල්ලක්, නවාතැන් පහසුකම්, විවේකාගාර, භෝජනාගාර, සනීපාරක්ෂක පහසුකම්, තොරතුරු මධ්‍යස්ථානය, ඖෂධහල සහ තැපැල් සේවා මධ්‍යස්ථානය ඇතුළු මගීන්ට අවශ්‍ය සේවාවන් සැලසීමට නියමිතය.

එමෙන්ම නව මගී ගුවන් පාලම් පද්ධතියක් ඉදිකිරීම, සියලුම වේදිකාවන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි සංවර්ධනය කිරීම සහ දුම්රිය ස්ථානයට ඇතුළුවීම හා පිටවීම සඳහා නව E-Gate තාක්ෂණික පද්ධතියක් හඳුන්වාදීමට ද සැලසුම් කර ඇත.

රුපියල් මිලියන 2,162 ක මුළු වියදමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මාස 15 ක කාලයකදී නිම කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,500 ක් ආසියානු සංවර්ධන බැංකු ණය මුදලක් ලෙස ලබාගෙන ඉතිරි මුදල් රජය විසින් ලබාදෙනු ඇත.

මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.