සමූපකාර ව්‍යාපාරයට ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ දෙදින වැඩමුළුවක් පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේදී ඊයේ (30) ආරම්භ කෙරිණ.
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කර තිබූ එම වැඩමුළුව සදහා සියලු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරුන්, නියෝජ්‍ය හා සහකාර සමූපකාර සංවර්ධන කොමසාරිස්වරුන් කැඳවා තිබුණි.
මෙම වැඩමුළුවේදී උපායමාර්ගික සැලැස්ම (Strategic Framework) පැහැදිලිකිරීම හා සකස්කිරීම පිළිබඳ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා විසින් සියලු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරුන්, නියෝජ්‍ය හා සහකාර කොමසාරිස්වරුන් දැනුවත් කරන ලදී.
නිෂ්පාදන සමූපකාර සමිති අත්පොත සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සහ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට අදාළ තොරතුරු ලබා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ පරිපාලන නිළධාරියෙකු වන කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා විසින් පැහැදිලි කෙරිණ.
සමූපකාරයේ අරමුණු එකිනෙකට වෙනස් නොවිය යුතු බවත්, මධ්‍යම රජයේ හා පළාත් සභා පනතින් පාලනය වන සමූපකාර එක් අරමුණක් වෙනුවෙන් මෙහෙයවිය යුතු බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.
සමූපකාර පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරයා, එය කෙටුම්පත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව සදහන් කළේය.
සමූපකාර පනතේ ඇතැම් අඩුපාඩු නිසා, සමූපකාර ව්‍යාපාරයට මුවා වී මහා පරිමාණ වංචාවන් සිදු කිරීමට ඉඩ තැබිය නොහැකි බවත්, අතුරු ව්‍යවස්ථා මඟින් පනතේ පාලනයෙන් ගිලිහීමට ගන්නා උත්සාහයන් වැළැක්විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී දැඩි ලෙස අවධාරණය කෙරිණ.
රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම සමූපකාර අංශයද රට ගොඩනගන වැඩපිළිවෙලේ ප්‍රධාන කුළුණක් ලෙස වත්මන් ආණ්ඩුව සලකන බව සදහන් කළ අමාත්‍යවරයා, සමූපකාර ක්ෂේත්‍රයට පහසුකම් සහ සහන සැලසීමට වත්මන් ආණ්ඩුව තීරණය කර ඇති බව පැවසීය.
කෙසේ වෙතත් රජයෙන් නිසි ක්‍රමවේදයකින් තොරව මුදල් ලබාදීම සිදුකළ නොහැකි අතර එසේ කටයුතු කළ අය මේ වන විට සිරගත වෙමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුනි.
එවැනි පරීක්ෂණ ගණනාවක් මේ වන විට සිදුකරමින් තිබෙන අතර එම ක්‍රියාවලිය වේගවත් කිරීමට අලුතින් අධිකරණ කිහිපයක් ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.
රජයේ මුදල් අවිධිමත් ලෙස යෙදවිය නොහැකි බවත් එය විධිමත් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් තිබෙන බවත් මෙහිදී අවධාරණය කෙරිණ.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා නිෂ්පාදන සමූපකාර සඳහා මෙම වසරේ අයවැයෙන් රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කර ඇති බවත්, සමුපකාර තොඟ වෙළඳ සංස්ථාව යළි ගොඩනැඟීම සඳහා සහ දේශීය ගොවීන්ගෙන් අල , ළූනු, බඩ ඉරිඟු මිලදීගැනීම සඳහාත් අයවැයෙන් මුදල් වෙන්කර දී ඇති බවත් පැවසීය.
මෙම අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා, ආචාර්ය ශාන්ත ජයරත්න මහතා, සමූපකාර සංවර්ධන කොමසාරිස් තරණි කුමාරදාස මහත්මිය, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා ඇතුළු පිරිසක් ද එක් විය.


