අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අතරමඟ නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කෙරේ

අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අතරමඟ නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කෙරේ
  • SocialShare:

සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් සුවපත් රටක් උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙල තුළ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ යටිතල පහසුකම් සහ භෞතික සංවර්ධනය කිරීමට කටයුතු කිරීම පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව පසුගිය කාලයේ අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ වැඩ ආරම්භ කර ඉදිකිරිම් නතර කර තිබූ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මඟපෙන්වීම සහ මූලිකත්වය යටතේ මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් නැවත ආරම්භ කිරීමට පියවර ගත් අතර, ඒ අනුව රුපියල් මිලියන 950 ක මුල්‍ය පිරිවැයක් යටතේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයෙත් (A&E), රුපියල් මිලියන 354 ක ව්‍යාපෘති පිරිවැයක් යටතේ කැතීටකරණ රසායනාගාර ඒකක සංකීර්ණයෙත් ආරම්භ කළ ඉදිකිරිම් කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

එම ව්‍යාපෘති 2026 වසරේ අවසන් කිරිමට නියමිත විම ද විශේෂත්වයකි. මීට අමතරව අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ යටිනල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ රෝහලේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය සකස් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම ද මෙහි දී සිදු වූ අතර,  අම්පාර දිස්ත්‍රික් මහ රෝහලට අලුතින් ලබාදුන් නවීන තාක්ෂණික පහසුකම් සහිත ගිලන් රථය හා ජංගම පරික්ෂණාගාර රථය නිල වශයෙන් රෝහලට ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් මෙහි දී සිදු විය.

අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ ලක්ෂ 800,000 ක පමණ ජනතාවට සහ තදාසන්න ප්‍රදේශවල විශාල ජනතාවකට අම්පාර දිස්ත්‍රික් රෝහල මගින් සෞඛ්‍ය සේවා සපයනු ලබන  බැවින් රෝහල ඉහළ මට්ටමට දියුණු කිරිමට කටයුතු කරන බවයි.

ඒ අනුව පසුගිය කාලයේ ඉදිකිරිම් ආරම්භ කර අතර මඟ නවතා දමා තිබු හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයේ සහ කැතීටකරණ රසායනාගාර ඒකකයේ ඉදිකිරිම් නැවත ආරම්භ කිරීමටත් එම ව්‍යාපෘති නියමිත කාලය තුළ අවසන් කිරිමටත්  සැලසුම් කළ බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි.

හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරිම් නියමිත කාලසීමාව තුළ සිදු කළා නම් රජයට වියදම් කිරිමට සිදුවන්නේ රුපියල් මිලියන 873 ක් බවත්, අළුතින් වැඩ ආරම්භ කළ එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කිරිම සඳහා එම මුදල මෙන් දෙගුණයක් එනම් රුපියල් මිලියන 1589 ක පිරිවැයක් දැරිමට සිදුවන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරන ලදි.

එමෙන්ම කැතීටකරණ රසායනාගාර ඒකක සංකීර්ණ ව්‍යාපෘතිය රුපියල් මිලියන 354 ක පිරිවැයකින් නියමිත කාලසීමාවේ අවසන් කිරිමට තිබුන ද, නැවත එහි වැඩ ආරම්භ කරමින් ව්‍යාපෘතිය අවසන් කිරිම සඳහා රුපියල් මිලියන 720 ක පිරිවැයක් දැරිමට රජයට සිදුවන බව ද ඒ අනුව ව්‍යාපෘති 02 ක අවසන් කිරිම සඳහා රුපියල් මිලියන 2039 ක් ලෙස මුල් ව්‍යාපෘති මුදල මෙන් දෙගුණයක පිරිවැයක් රජයට දැරිමට සිදු වන බව ද  අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.

මෙවැනි ව්‍යාපෘති 17 ක් වන බවත්, එම ව්‍යාපෘති නතර වී ඇති තැන සිට නැවත ආරම්භ කිරිමට කටයුතු කරන බවත්, එම ව්‍යාපෘති 17 සඳහා වර්තමානයේ රුපියල් බිලියන 59 ක පිරිවැයක් දැරිමට රජයට සිදුවන බව ද, නියමිත කාලසීමාවන් තුළ එම ව්‍යාපෘති අවසන් කළා නම් රුපියල් බිලියන 29 කින් එම ව්‍යාපෘති ජනතා අයිතියට පත් කළ හැකිව තිබූ බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.