ප්‍රධාන ධීවර වරායන් හතරක සංවර්ධනය පිළිබඳ අමාත්‍ය චන්ද්‍රසේකර් සහ ප්‍රංශ තානාපති අතර සාකච්ඡා

ප්‍රධාන ධීවර වරායන් හතරක සංවර්ධනය පිළිබඳ අමාත්‍ය චන්ද්‍රසේකර් සහ ප්‍රංශ තානාපති අතර සාකච්ඡා
  • SocialShare:

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති H.E. Rémi Lambert මහතා අතර වැදගත් හමුවක් පසුගියදා අමාත්‍ය කාර්යාලයේදී සිදු විය. මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා වන විවිධ ක්‍රියාමාර්ග සහ පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාවේ ප්‍රධාන අංගයක් වූයේ ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් විසින් මෑතකදී ප්‍රංශයේ සිදු කරන ලද නිල සංචාරයයි. මෙම සංචාරයේදී, ප්‍රංශ රජය සතු රාජ්‍ය මූල්‍ය ආයතනයක් වන ප්‍රංශ සංවර්ධන නියෝජිත ආයතනය (Agence Française de Développement - AFD) සමඟ වරාය සංවර්ධනය පිළිබඳව සාකච්ඡා පැවැත්විණි. විශේෂයෙන්ම, ගාල්ල, බේරුවල, පුරාණවැල්ල සහ කුඩාවැල්ල යන ප්‍රධාන ධීවර වරායන් හතරේ සංවර්ධනය සඳහා AFD වෙතින් ලැබිය හැකි සහයෝගය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමා සමඟ ප්‍රංශ තානාපති Lambert මැතිතුමා මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලැබීමෙන් පසු මෙම ව්‍යාපෘතිය කඩිනමින් ඉදිරියට ගෙන යා හැකි බවට සහතික විය.

වසර 76 ක් පුරා පැවති පාලන සමයන්හිදී රටට සිදු වූ දැවැන්ත කඩා වැටීමෙන් පසු, රට නැවත ස්ථාවරත්වයට ගෙන ඒමට සහ සංවර්ධන මාවතකට යොමු කිරීමට වත්මන් රජය ගන්නා උත්සාහයන් පිළිබඳව අමාත්‍ය චන්ද්‍රසේකර් මහතා ප්‍රංශ තානාපතිවරයාට පැහැදිලි කළේය. 2022 දී බංකොලොත් භාවයට පත් වූ රට මේ වන විට ක්‍රමානුකූලව දියුණු වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය. ඊට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රයත්නයන්ට ප්‍රංශයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව තානාපති Lambert අවධාරණය කළේය. ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවලදී එළඹුණු එකඟතාවය ඔහු සිහිපත් කළ අතර, මෙම ප්‍රතිව්‍යුහගතකරණ මුලපිරීම් සඳහා සහයෝගය ලබා දුන් පළමු රටවල් අතර ප්‍රංශය ද වූ බව පෙන්වා දුන්නේය.

මෙම හමුවට එක් වූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස, ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රංශයේ පවතින දියුණු හා නවීන බෝට්ටු නිෂ්පාදන තාක්ෂණය ශ්‍රී ලංකාව සමඟ බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටියේය. ප්‍රංශ තානාපතිවරයාද ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වීය.

තවද, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය දියුණු කිරීම, පවතින ගැටලු නිරාකරණය කිරීම, තහනම් ධීවර ක්‍රම මගින් සාගර සම්පත් වලට වන හානිය වැළැක්වීම සහ තිරසාර ධීවර කර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රංශයේ සහයෝගය සහ උපකාර අමාත්‍ය චන්ද්‍රසේකර් ඉල්ලා සිටියේය.

මෙම හමුවේදී, ලෝක වෙළඳ සංවිධානය (WTO) විසින් සකස් කරන ලද ධීවර සහනාධාර පිළිබඳ ගිවිසුමේ පළමු අදියර සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව තානාපතිවරයාට දැනුම් දෙන ලදී. මෙම ගිවිසුම නීතිවිරෝධී, වාර්තා නොකළ සහ අවිධිමත් ධීවර කටයුතු (IUU) සහ අධික ලෙස මසුන් ඇල්ලීම මගින් ඇති වන බලපෑම් වැළැක්වීම තුළින් ධීවර ක්ෂේත්‍රයේ තිරසාරත්වය සහතික කිරීම අරමුණු කරයි. ධීවර අමාත්‍යතුමා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඒකාබද්ධව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් අනුව මෙම අනුමැතිය ලබා දී ඇත. ශ්‍රී ලංකා රජය මෙම ගිවිසුමේ පළමු අදියර සඳහා එකඟ වී ඇති අතර, මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා WTO වෙත දැනුම් දීමට නියමිතය.

මෙම අවස්ථාවට ප්‍රංශ තානාපති කාර්යාලයේ නිලධාරීන් වන Commander Jean-Baptiste Trouche (Maritime Security and Safety Cooperant), Ms. Hema Ramachandran (Deputy Economic Counsellor), සහ Ms. Dinusha Ileperuma (Press Attaché and translator) යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.