මෙරට රුධිර පාරවිලයන සේවාව ගෝලීය සෞඛ්‍ය සංවිධානවල ඇගයීමට

මෙරට රුධිර පාරවිලයන සේවාව ගෝලීය සෞඛ්‍ය සංවිධානවල  ඇගයීමට
  • SocialShare:

වාර්ෂික ව මෙරට  සම්පූර්ණ රුධිර ඒකක 450,000 ක් පමණ එකතු කරනු ලබන ජාතික රුධිර පාරවිලයන සේවාව ගෝලීය සෞඛ්‍ය සංවිධානවල ඉමහත් පිළිගැනීමට සහ ගෞරවයට පාත්‍ර වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කරනු ලැබුයේ රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ වාර්ෂික අධ්‍යයන සැසිවාරය සහ එම විද්‍යායතනයේ ඉදිරි වර්ෂය සදහා නව සභාපතිවරයා පත් කර ගැනීම වෙනුවෙන් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී පැවැති උත්සව අවස්ථාවට ප්‍රධාන අරාධිතයා ලෙස එක්වෙමිනි.

මෙහි දී රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 12 වන සභාපතිවරයා සහ 2025 වර්ෂය සදහා නව සභාපතිනිය ලෙස රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍ය ආශා ද අල්විස් මහත්මිය පත් වූ අතරහිටපු සභාපති රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍ය ධම්මික සෙනෙවිරත්න මහතා විසින් සභාපති විශේෂ පළදනාව නව සභාපතිනියට පැළැඳීම ද සිදු විය.  

උත්සව සභාව අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පවසා සිටියේ මෙරට ජාතික රුධිර පාරවිලයන සේවාව අද වනවිට ගෝලීය වශයෙන් පිළිගත් සහ ජාතික වශයෙන් මනා සම්බන්ධීකරණ පද්ධතියකින් යුක්ත ව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බවයි.  නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මාධ්‍යස්ථානය යටතේ දළ වශයෙන් රට පුරා ලේ බැංකු 110 ක් ආවරණය වන පරිදි රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණයෙන්, සම්බන්ධීකරණයෙන් සහ නිවැරදි ව  සංවිධානය වූ කළමනාකරණ ව්‍යුහයක් සමඟ ක්‍රියාත්මක බව ද පැවසී ය.

ජාතික රුධිර පාරවිලයන සේවාව 2014 දී 100% ස්වේච්ඡා රුධිර දායකයින් සිටින රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අප රට පිළිගත් බවත්, එය ආසන්න වශයෙන් ලොව පුරා රටවල් 70 ක් විසින් ළඟා කර ගත් ජයග්‍රහණයක් බව ද මෙහි දී පැවසූ අමාත්‍යවරයා ජාතික රුධිර පාරවිලයන සේවාව විසින් වාර්ෂිකව සම්පූර්ණ රුධිර ඒකක 450,000 ක් පමණ එකතු කරනු ලබන බවත්, සියලු ම පුරවැසියන් සඳහා ආරක්ෂිත රුධිර නිෂ්පාදන සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කරමින් ජාතික රුධිර පාරවිලයන සේවාව යටතේ රජයේ සහ පෞද්ගලික අංශයේ රෝහල්වලට රුධිරය සපයන බව ද පැවසී ය.

අග්නිදිග ආසියා කලාපයේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල් දෙක පමණක් බෙදා හදා ගන්නා රුධිර පාරවිලයන සේවා සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස ජාතික රුධිර පාරවිලයන සේවාව පිළිගෙන තිබීම පිළිබඳ ව ආඩම්බර විය යුතු බවත්, ගෝලීය සෞඛ්‍ය සංවිධානවල පිළිගැනීම සහ ගෞරවය දිනා ගනිමින් ජාතික රුධිර පාරවිලයන සේවාවේ නියතු සියලු කාර්ය මණ්ඩලය ජාත්‍යන්තර වේදිකාවේ අඛණ්ඩව වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

උපදේශක පාරවිලයන වෛද්‍යවරුන් විසින් සියලු ම ප්‍රදේශ හරහා රුධිර පාරවිලයන කටයුතු  අධීක්‍ෂණය කරමින් සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු සිදු කරන බවත්, 1% ට වඩා අඩු රුධිර බැහැර කිරීමේ අනුපාතයක් පවත්වා ගෙන යන බව ද පෙන්වා දුන් අතර, එය ජාත්‍යන්තරව පිළිගත් මිණුම් ලකුණ වන 5% ට වඩා සැලකිය යුතු ලෙස අඩු බව ද පැවසී ය.

ශ්‍රී ලංකා රුධිර පාරවිලයන වෛද්‍යවරුන්ගේ විද්‍යාලය අමිල තාක්ෂණික විශේෂඥ දැනුමක් සහ මගපෙන්වීමක් ලබාදෙමින් ජාතික රුධිර පාරවිලයන සේවයේ අඛණ්ඩ සාර්ථකත්වය සහ ප්‍රගතිය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවත්, ශ්‍රී ලංකා රුධිර පාරවිලයන වෛද්‍ය විද්‍යාලයේ නව සභාපතිවරයාගේ නායකත්වය යටතේ විද්‍යාලය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයන සේවාවන් තවදුරටත් ප්‍රගතියට පත් කිරීම සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් රාශියක් අඛණ්ඩව  සිදු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

ශ්‍රී ලංකා රුධිර පාරවිලයන වෛද්‍ය විද්‍යාලය ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයන වෛද්‍ය විද්‍යාවට සෘජුවම සම්බන්ධ වන එකම අධ්‍යයන ආයතනය වේ. එය දිවයිනේ ප්‍රමුඛතම රුධිර පාරවිලයන වෛද්‍ය විශේෂඥයින්ගේ අනුග්‍රහය ඇති ව 2012 දී පිහිටු වන ලදී. මේ වන විට සාමාජිකයන් 25 දෙනෙකුට අධික ප්‍රමාණයක් මෙහි සාමාජිකත්වය දරනු ලබන අතර, ශ්‍රී ලංකා රුධිර පාරවිලයන වෛද්‍ය විද්‍යාලය ශ්‍රී ලංකාවේ රුධිර පාරවිලයන වෛද්‍ය විද්‍යාව පිළිබඳ පර්යේෂණ ප්‍රවර්ධනය කරයි.

මෙම අවස්ථාවට මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය රනිල් ප්‍රනාන්දු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ රුධිර ආරක්ෂාව පිළිබද කලාපීය උපදේශක ආචාර්ය අපර්ණා සිං, ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, ශ්‍රී ලංකා රුධිර පාරවිලයන වෛද්‍ය විද්‍යායතනයේ හිටපු සභාපති, උපදේශන පාරවිලයන වෛද්‍ය ධම්මිකා සෙනෙවිරත්න, රුධිර පාරවිලයන වෛද්‍ය විද්‍යාලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.