ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක්, සමෘද්ධිමත් ජාතියක පදනමයි

ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක්, සමෘද්ධිමත් ජාතියක පදනමයි
  • SocialShare:

ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක්, සමෘද්ධිමත් ජාතියක පදනම බව වත්මන් රජය පිළිගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

නව පුනරුද යුගයකට ගමන් කරමින් සිටින අවස්ථාවක  මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  ඉදිරි සංවර්ධන, සැලැස්ම, දැක්ම පිළිබඳ පැහැදිලි අවබෝධයක් මේ වන විට වෛද්‍ය පරිපාලකයින්ට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයටද  ඇති බවත් එය ක්‍රියාවට නැංවීම සදහා  සියලු දෙනා කැපවී කටයුතු කරනු ඇතැයි තමා  බලාපොරොත්තුව බවද අමාත්‍යවරයා පැවසීය. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනයේ 2025 වර්ෂය සදහා නව සභාපතිවරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පශ්චාත් වෛද්‍ය උපාධි ආයතන ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් ය.

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනයේ 32වන සභාපතිවරයා වන වි‌ශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාට හිටපු සභාපති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා විසින් සභාපති විශේෂ පළඳනාව මෙහි දී පළඳවන ලදී.

මෙවර අයවැයෙන් ඉතිහාසයේ  වැඩිම  මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය සේවාව සදහා වෙන් කිරීමට වත්මන් රජය කටයුතු කළ බවත්, ඒ තුළින් අපේක්ෂා කරනුයේ මෙරට ජනතාවට විධිමත්, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීම බවත්, එම කාර්යයේ දී වෛද්‍ය පරිපලකයන්ගේ විශේෂඥතාව, නායකත්වය සහ උපායමාර්ගික අධීක්ෂණය අත්‍යවශ්‍ය වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

වත්මන් රජයේ ප්‍රතිපත්ති දිශානතියේ තීරණාත්මක අංගයක් ලෙස  ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ  සංවර්ධනය පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය තුළින් ද්විතීයික සහ තෘතීයික සෞඛ්‍ය ආයතනවලට තිබෙන රෝගී තදබදය අඩුකර ගැනීමට  බෙහෙවින් ඉවහල් වන බව සදහන් කළේ ය.

තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම අරමුණක් බව සිහිපත් කළ  අමාත්‍යවරයා වර්තමානය වන විට බෝනොවන රෝග එයට යම් අභියෝගයක් එල්ල කරන බව ද පැවසී ය. එය පාලනය කිරීම සදහා රජය සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩල සමග දැඩි පරිශ්‍රමයක්  ගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා  මෙරට වයස්ගත ජනවතාවට  ගෞරවනණීය ජීවන තත්ත්වයක් ලගා කර දීම ද   නව රජයේ ඉලක්ක ගත සෞඛ්‍ය  වැඩපිළිවෙළේ  ඉහළින් ම  සදහන් බව ද පැවසී ය.

“Clean Sri Lanka ” වැඩපිළිවෙළට සමපාත වෙමින්, තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් අනුගමනය කිරීමෙන් පරිසර හිතකාමී සෞඛ්‍ය සේවා පද්ධතියක් නිර්මාණය කළ හැකි බව අවධාරණය කළ නලින්ද ජයතිස්ස මහතා එම නිර්මාණකරණයේ දී  වෛද්‍ය පරිපාලකයන්ට විශාල වගකීමක් පැවරෙන බව ද ප්‍රකාශ කළේ ය.

ගෝලීය වශයෙන් සිදුවන තොරතුරු තාක්ෂණයේ වේගවත් දියුණුව මෙරට සෞඛ්‍ය සේවාවේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට හැකි වන බවත්, කෘත්‍රිම බුද්ධිය (AI තාක්ෂණය) සාමාන්‍ය පරිපාලන ක්‍රමයන් උසස් තාක්ෂණික පරිපාලන  මට්ටමකට ගෙන ඒ්මට  යොදා ගත හැකි  බව පෙන්වා දුන් අමාත්‍යවරයා සත්කාර සේවාවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා Al තාක්ෂණය ඒකාබද්ධ කරගැනීමට හැකි නියමු ව්‍යාපෘතියක අවශ්‍යතාවය ද  මෙහි  දී පෙන්වා දෙනු ලැබීය.

වෛද්‍ය පරිපාලකයන්ගේ  විද්‍යායතනයේ 32 වන සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා පත්වීමේ  උත්සව අස්ථාවට සහභාගිවීමට ලැබීම මහත් ගෞරවයක් බව සිහිපත් කළ  අමාත්‍යවරයා  සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලකයෙකු සහ පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන විශේෂඥ  වෛද්‍ය ධර්මරත්න මහතා අපගේ ජාතික  සෞඛ්‍ය සේවා පද්ධතියට ඉමහත් දායකත්වයක් ලබා දී ඇති වෛද්‍ය පරිපාලකවරයකු බව ද පැවසු අතර රජය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් නව සභාපතිවරයාට හෘදයාංගම සුබ පැතුම් පිරිනමන්නට මෙය අවස්ථාවක් කර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහි දී පවසා සිටියේ ය.

1992 වර්ෂයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනය වෛද්‍ය පරිපාලකයින් 300 කට  අධික වෛද්‍ය පරිපාලකයින්  පිරිසක්   සාමාජිකත්වය දරනු ලබයි .

මෙම උත්සව අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය  මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක, පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සේනක රාජපක්ෂ, ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනයේ ලේකම් වෛද්‍ය ඇනටන් ප්‍රනාන්දු, භාණ්ඩාගාරික වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා, යන මහත්වරුන් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක් වූහ .

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.