බොහෝ ළමා පිළිකා කල් ඇතිව හඳුනාගෙන නිවැරදි රෝග විනිශ්චයකට ලක්කර නිසි ප්‍රතිකාර නිසි කලට ලබාදීමෙන් සුව කරගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනෙහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) එළඹෙන ජාත්‍යන්තර ළමා පිළිකා දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති දැනුවත්කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
සෑම වසරකම පෙබරවාරි 15 වනදා ජාත්‍යන්තර ළමා පිළිකා දිනය සමරනු ලබන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ළමා පිළිකා සම්බන්ධව කටයුතු කරන සියලුම ජාත්‍යන්තර සංවිධාන එකතු වී මෙම දිනය ජාත්‍යන්තර ළමා පිළිකා දිනය ලෙස නම්කර ඇතැයිද පැවසුවේය.
මෙම වසරේ ජාත්‍යන්තර ළමා පිළිකා දිනයේ තේමාව ලෙස “උද්‍යෝගීමත්ව ක්‍රියාත්මක වෙමු ” යන්න ප්‍රකාශ කර ඇතැයිද ළමා පිළිකා නොහොත් ළමා හා නව යොවුන් වියේ පිළිකා ලෙස හඳුන්වනු ලබන්නේ උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩ වල දරුවන්ගේ හඳුනාගනු ලබන පිළිකා බවද පෙන්වා දුන්නේය.
මෙම පිළිකා වැඩිහිටි වියේ සෑදෙන පිළිකා වලට වඩා වෙනස් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ළමා පිළිකා සඳහා මැදිහත්වීම අවශ්‍ය බවද පැවසුවේය. ළමා පිළිකා වළක්වාගැනීම පිළිබඳව එතරම් හැකියාවක් නැතැයිද ඒ සඳහා හේතුකාරක වන සාධක හඳුනාගෙන නොමැති වීම ඊට හේතුව බවද සඳහන් කළේය.
අහඹු ලෙස ඇතිවන තත්ත්වයක් හේතුවෙන් ළමා පිළිකා ඇතිවීම සිදුවන බවද ලොව පුරා වර්ෂයකට ළමා පිළිකා රෝගීන් ලක්ෂ 04ක් පමණ හඳුනාගන්නා බවද අවධාරණය කළේය. මෙහිදී ප්‍රධාන වශයෙන් ළමුන් අතර හඳුනාගනු ලබන පිළිකා වනුයේ ලියුකේමියාව, වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාව, අස්ථි සම්බන්ධ පිළිකා සහ මොළය ආශ්‍රිත පිළිකා බවත් පෙන්වා දුන්නේය.
ජාතික පිළිකා ලේඛනයට අනූව වසරකට ලංකාවේ ළමා හා නව යොවුන් වියේ පිළිකා රෝගීන් 1000 – 1200 ත් අතර ප්‍රමාණයක් හඳුනාගැනෙන බවද මෙහිදී ගැහැණු හා පිරිමි දරුවන් 1:1 ප්‍රමාණයක් වාර්තා වන බවද පැවසුවේය.
මෙරට බහුලතම ළමා පිළිකා ලෙස වනුයේ ලියුකේමියාව, වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාව, අස්ථි සම්බන්ධ පිළිකා සහ මොළය ආශ්‍රිත පිළිකා වාර්තා වන බවද 2019දී ළමා හා නව යොවුන් වියේ පිළිකා හේතුවෙන් දරුවන් 220ක් මියගොස් ඇතැයිද සඳහන් කළේය.
මෙරට වර්ෂයකට ළමා හා නව යොවුන් වියේ පිළිකා හේතුවෙන් දරුවන් 220 – 250 අතර ගණනක් මියයන බවද මේ අතර ප්‍රතිකාර කර සුව කළ හැකිව තිබූ දරුවන්ද සිටින බව අවධාරණය කළේය. එම මරණ තවදුරටත් අවම කරගැනීම අත්‍යවශ්‍ය වන බවද මෙම ජාතික ළමා පිළිකා මර්දන දිනයේදී උද්‍යෝගීමත්ව ක්‍රියාත්මක වෙමු යන්නෙන් අදහස් කරන්නේද ළමා පිළිකා රෝගීන් කල් ඇතිව හඳුනාගෙන ඔවුන්ට නිසි ප්‍රතිකාර නිසි මාත්‍රාවෙන් නිසි කාලයේ ලබාදී ඔවුන්ට සුවය ලබාදී ඔවුන් අධ්‍යාපන හා සමාජ කටයුතු වලට යොමුකිරීම බවද අවධාරණය කළේය.
එමගින් ළමා මරණ අඩුකරගනිමින් දරුවන්ගේ ජීවිත වල ගුණාත්මකභාවය වැඩිදියුණු කළ හැකි යැයිද එමගින් රටක් ලෙස නිරෝගී දරු පරපුරක් පවත්වා ගැනීමේ හැකියාව පවතින බවද පෙන්වා දුන්නේය.