නීති විරෝධී බීඩී කොළ තොගයක් නාවික හමුදා භාරයට

නීති විරෝධී බීඩී කොළ තොගයක් නාවික හමුදා භාරයට
  • SocialShare:

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ පසුගිය දා (13) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් අටසිය හැට හතරකට (864) අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැලණි ආයතනය මඟින්, එදින රාත්‍රී කාලයේ මීගමුව කලපු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්ෂණ‍ය කර පරීක්ෂාවට ලක් කෙරිණි. 

එහි දී, එම ඩිංගි යාත්‍රා තුළ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ උර විසි නවයක (29) අසුරන ලද බීඩි කොළ කිලෝ අටසිය හැට හතරයි (864) ග්‍රෑම් හත්සිය පනහක (750) තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රා දෙක (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.   

එමෙන්ම, නාවික හමුදා භාරයට ගත් එක් උරයක (01) ඔතන ලද බීඩි සහිත පාර්සලයක්ද තිබූ අතර, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැ‍ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි,  බීඩි කොළ ‍තොගය සහ ඩිංගි යාත්‍රා දෙක (02) මීගමුව කලපුවේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදා භාරයට ගත් මෙම බීඩි, බීඩි කොළ ‍‍තොගය සහ ඩිංගි යාත්‍රා පිළිබඳ ඉදිරි නිතීමය කටයුතු සඳහා කටුණායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.