එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ ගම්බිම් බලා යන සහ ගම්බිම්වල සිට නැවත කොළඹට පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් අමතර බස් සේවාවන් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සජීව කනකරත්න මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ 2026 සිංහල-හින්දු අවුරුදු කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ගමනාගමන සැලසුම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
විශේෂ අවුරුදු ප්‍රවාහන සේවාවන් හෙට(09) සිට අප්‍රේල් 21 දක්වා ක්‍රියාත්මක කෙරේ. හෙට සිට අප්‍රෙල් 13 වැනිදා දක්වා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින මගීන්ට කොළඹින් පිටත දුරබැහැර ප්‍රදේශවලට යාමට ප්‍රවාහන පහසුකම් සපයන අතර නැවතත් අප්‍රේල් 15 සිට 21 දක්වා ගම්බිම් වෙත ගිය මගී ජනතාව ,කොළඹ දක්වා ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
මෙම කාලය තුළ සාමාන්‍ය මගී ජන ඝනත්වය ලක්ෂ 2.5ක් පමණ වනු ඇතැයි පැවසූ ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊට අමතරව මගීන් වැඩිපුර ගැවසෙන ස්ථාන සඳහා යෙදවීමට කොළඹ අවටින් බස් 50ක රථඇණියක් වෙනම සූදානම් කර ඇතැයිද පැවසුවේය.
මෙම කාලය තුළ ගමනාගමන මණ්ඩලයේ විශේෂ අත්‍යවශ්‍ය නිවාඩු හැර අනෙක් සියලුම නිවාඩු අවලංගුකර ඇතැයිද ගමනාගමන මණ්ඩලයෙන් බස් සේවාවන් විශේෂ චාරිකා සඳහා ලබා දීමත් හෙට සිට ලබන 21 වනදා දක්වා තාවකාලිකව නවත්වා ඇතැයිද සඳහන් කළේය.


