එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර හෙට (09) සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි (ගමනාගමන) අසංක සමරසිංහ මහතා පවසයි.
අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
හෙට(09) සිට 12 දක්වා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් සහ අප්‍රේල් 15 සිට 20 දක්වා නැවත සේවාවන් සඳහා නගර වෙත පැමිණෙන ජනතාව වෙනුවෙන් මෙම දුම්රිය ධාවනය සැලසුම් කර තිබේ.
විශේෂයෙන් කොළඹ සිට මාතර, ගාල්ල, පුත්තලම, මහව සහ රඹුක්කන යන ප්‍රදේශවලට යන මගීන් සංඛාව වැඩි බවත් එබැවින් ගාල්ල,මාතර ,පුත්තලම සහ අවිස්සාවෙල්ල දුම්රිය මාර්ග සඳහා අමතර දුම්රිය ගමන් වාර එකතු කර ඇති බවද පැවසිය.
උතුරු මාර්ගයේ ධාවනය මහව දක්වා සීමා වී තිබුණද, ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් මාර්ගය පිළිසකර කිරීම කඩිනම් කරමින් හෙට (09) සිට කන්කසන්තුරය දක්වා දුම්රිය වාර කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද පැවසුවේය.
දුම්රිය ප්‍රමාදයන් හෝ පැමිණිලි සඳහා 1971 යන ක්ෂණික දුරකථන අංකය අමතන ලෙස ද මහජනතාවට දැනුම් දෙන බවද සඳහන් කළේය.


