අගෝස්තු 23, 2019
tami eng youtube  twitter facebook

    ලංකා ඉතිහාසයේ වාරිමාර්ග වෙනුවෙන් වැඩි ම මුදල ලබාදුන්නේ මේ අය-වැයෙන්

    නොවැම්බර් 12, 2014

    ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වාරිමාර්ග කටයුතු සඳහා ලබා දුන් වැඩිම මුදල ලබා දෙමින් මේ රටේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණය සඳහාත්, මහවැලි අධිකාරියේ කටයුතු ශක්තිමත් කිරීම සඳහාත් දෙන ලද සහයෝගය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාට මගේ ස්තුතිය පුද කරන්නේ යැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (11) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හත් වෙනි දින විවාදයට එක්වෙමිනි.


    එහිදී අමාත්‍යවරයා කරන ලද කතාව පහත දැක් වේ.


    වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් සාකච්ඡා කරන මේ අවස්ථාවේ දී එම විවාදයට සහභාගී වීමට ලැබීම ගැන මා ඉතාම සන්තෝෂ වනවා.


    විශේෂයෙන්ම අප අමාත්‍යාංශය සඳහා මෙම අය වැයෙන්  රුපියල් බිලියන 71ක මුදලක් වෙන් කර දී තිබෙනවා.  ශ්‍රී ලාංකීය ඉතිහාසයේ  වාරිමාර්ග කටයුතු සඳහා ලබා දුන් වැඩිම මුදල ලබා දෙමින් මේ රටේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණය සඳහාත්, මහවැලි අධිකාරියේ කටයුතු ශක්තිමත් කිරීම සඳහාත් දෙන ලද සහයෝගය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාට මගේ ස්තුතිය පුද කරන්නට කැමැතියි.  කෘෂිකර්මාන්තය සඳහා  වාරි ජලය සැපයීමත්, එමෙන්ම පානීය ජල අවශ්‍යතාවන් සඳහා ජලය ලබා දීමත් කියන මේ කාර්ය දෙකම අපේ අමාත්‍යාංශයෙන් ඉටු කෙරෙනවා. ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාරයකට උරුමකම් කියන අප සිංහල රජ දරුවන්ගේ දවසින් පසුව පැරණි වාරි ව්‍යාපෘතීන් ප්‍රතිසංස්කරණය කරමින් රටට නව ජල අවශ්‍යතාවන් සපුරාලීම සඳහා නව වාරි ව්‍යාපෘති ක්‍රම රාශියක් ජනතාවට දායාද කිරීමට මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව අප කටයුතු කර තිබෙනවා.


     ගරු රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා, ඩී.එස්. සේනානායක මැතිතුමා සහ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් කරන ලද ව්‍යාපෘතින් පිළිබඳව. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කවුරුවත් නැහැයි කියලා කියන්නේ නැහැ.  මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කළේ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. එදා ඒ ආණ්ඩුව නැති වුණාට පසුව  ඒ කරපු වැඩ කටයුත්ත ඊළඟට පත් වුණු ආණ්ඩුව ඉදිරියට කරගෙන ගියා. ඒ මහවැලි මහ සැලැස්මේ තිබුණු ඔක්කොම දේවල්  එක්සත් ජාතික පක්ෂ රජය විසින් කළේ නැහැ.  මහවැලි මහ සැලැස්මේ  තිබුණු ව්‍යාපෘතිවලින් සියයට 45ක් විතරයි කළේ.  ඒ කාලයේ දී ඔක්කොම කරලා තිබුණා නම් මේ වාගේ ජල හිඟයක් ඇති වන්නේ නැහැ. යාන් ඔය ව්‍යාපාරය කළේ නැහැ. ඊට අමතරව මහවැලි මහ සැලැස්මේ  උතුරු මැද ඇළ, ඒ වාගේම මල්වතු ඔය වැනි ව්‍යාපෘති රාශියක් තිබුණා. ඒවා කරන්නේ නැතිව දැන් අපට දොස් කියනවා.  රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජය වසර දෙකක් පැවැතුණා.  ඒ රජය කාලයේ දී මේ ඔක්කොම වැඩ කටයුතු නතර කරලයි තිබුණේ.  "රටේ ජල අවශ්‍යතාව ප්‍රමාණවත්, ආයෙත් අලුතෙන් මුකුත් කරන්න ඕනෑ නැහැ" යි කියන පදනම මත තමයි ඒ කාලයේ වාරිමාර්ග සම්බන්ධව සැලකුවේ.  ඒ කාලයේ වාරිමාර්ග ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 7ක්, 8ක් වත් ලබා දුන්නේ නැහැ.


    අද  මහින්ද චින්තනය හා මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ මේ වැඩ කටයුතු වඩාත් වේගවත්ව කරන්නට අපට හැකි වෙලා තිබෙන්නේ, මේ තිබුණු හිඩැස පිරවීම සඳහා අපේ අමාත්‍යාංශය යටතේ විශාල වැඩ පිළිවෙළක් කර තිබෙන නිසායි. ඒ සඳහා විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමා අපට විශාල සහයෝගයක් ලබා දුන්නා.


    විශේෂයෙන්ම වැව් බැඳි රාජ්‍යයන් වන අනුරාධපුර හා පොලොන්නරු දිස්ත්‍රික්කවල ජනතාවගේ වාරි ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා ඉහළ කොත්මලෙන් එන ජලය  ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඒ නිසා අපි මොරගහකන්ද සහ කලු ගඟ කියන දැවැන්ත ව්‍යාපෘති දෙක ආරම්භ කළා. එක්සත් ජාතික පක්ෂ‍ය ඒ ගැන කල්පනා කළාද, ඒ ගැන බැලුවාද? නැහැ. ඒ වාගේම මහඔය, පදියතලාව වාගේ තර්ජනයට ලක් වූ සහ කර්කෂ දේශගුණයක් තිබුණු ඒ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අපි දේශීය තාක්ෂණය යොදාගෙන මොන තරම් ලස්සනට නැ‍ඟෙනහිර පළාතේ රඹකැන් ඔය ව්‍යාපෘතිය කරලා තිබෙනවාද? ඒවා දකින්නේ නැද්ද? මේ අය කියනවා, අපි මොකුත් කරලා නැහැ කියලා. ඩී.එස්. සේනානායක මහත්මයා කරපු ඒවා විතරයි ඔක්කෝම තිබෙන්නේ; ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කරපු ඒවා විතරයි ඔක්කෝම තිබෙන්නේ.


    මේ වෙලාවේ ගරු අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා සිටියා නම් මම සතුටු වෙනවා. එතුමා කියනවා, දැදුරු ඔය ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක්ලු. ලෝකයේ විවිධ රටවල්වලින් ඉංජිනේරුවරු ඇවිල්ලා මේ ව්‍යාපෘතිය දිහා බලලා තාක්ෂණික වශයෙන් ඉතාම උසස් ව්‍යාපෘතියක් බවට සහතික දීලා තිබෙනවා. කොන්ක්‍රීට් එක කොහේ හරි පොඩ්ඩක් තැලිලා තිබුණා කියලා මේ ව්‍යාපෘතිය නරක ව්‍යාපෘතියක් නොවෙයි. එදා මේ ව්‍යාපෘතිය හදන්න යන කොට ජනතාව ගල් ගැහුවා. එදා ගරු කථානායකතුමාට ගල් වීසි කරපු අය අද මල් මාලා දාලා පිළිගන්නවා. මේ ව්‍යාපෘතිය කොච්චර ලස්සනට ඒ ප්‍රදේශයේ ජනතාවට ජලය සැපයීම සඳහා දායක වෙලා තිබෙනවාද කියන එක මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා මේ ව්‍යාපෘතිය විවේචනය කරලා, මේක තාක්ෂණික වශයෙන් වැරැදියි කියන එක අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ. මේ ව්‍යාපෘතිය දේශීය ඉංජිනේරුවන්ගේ තාක්ෂණයෙන් ගොඩ නංවන ලද ශ්‍රේෂ්ඨ ව්‍යාපෘතියක්, වැදගත් ව්‍යාපෘතියක්. ඒ වාගේම කුරුණෑගල ප්‍රදේශයේ ජනතාවට විශාල ප්‍රතිලාභයක් ලබා දෙන ව්‍යාපෘතියක්. එතුමා කියනවා, අක්කර 6,000ක් යට වෙනවාලු. ඉතින් අක්කර 6,000යි, 25,000යි අතර වෙනසක් නැද්ද? අක්කර 25,000කට ජලය දෙන්න අක්කර 6ක ජලාශයක් හදලා පුළුවන්ද?‍ අක්කර 25,000කට වතුර දෙනවා කියන්නේ විශාල වගකීමක්. කන්න දෙකකට වතුර දෙන්න ඕනෑ, වතුර එකතු කරගන්නට ඕනෑ. මේ අයට එවැනි නිර්ණායකයක් නැහැ. ඒ නිසා එම ව්‍යාපෘතිය ඉතාම හොඳ ව්‍යාපෘතියක්. අපට දෙන්න පුළුවන් වැඩිම වන්දි ප්‍රමාණය අපි ලබා දුන්නා.  එහෙම නම් මහවැලිය හදන කාලයේ කොච්චර ජනතාවක් අවතැන් වුණාද? ඔවුන්ගේ ගම් බිම් දාලා කර්කශ දේශගුණයක් තිබුණු ප්‍රදේශවලට ගෙනාවා. එහෙම තමයි සංවර්ධන ව්‍යාපාරයක් කරන කොට. නමුත් අපි ඒ ජනතාවට ඉතා හොඳින් සලකලා කටයුතු කරලා තිබෙනවා.


    ඒ වාගේම මොරගහකන්ද සහ කළු ගඟ ව්‍යාපෘති තුළින් එන අතිරික්ත ජලය විශේෂයෙන්ම අපි අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලට යවනවා. යවලා ඒ ජනතාවට, වැව් බැඳි රාජ්‍යයට අවශ්‍ය අමතර ජලය ලබා දීමේ වීරක්‍රියාව කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව මම ප්‍රකාශ කරන්න කැමැතියි.


    රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමා මේ ලංකාවේ පුවත් පතක් කියවන, එහෙම නැත්නම් මේ කරුණු කාරණා පිළිබඳව අධ්‍යයනයක් කරලා තිබෙන කෙනෙක්ද කියලා මම දන්නේ නැහැ. දැන් කියනවා, අපි මොකුත් ම කරලා නැහැලු. එතුමන්ලා විතරයි ඔක්කෝම කරලා තිබෙන්නේ. බලන්න, මේ වන විට මව්ආර ජලාශ ව්‍යාපෘතිය අවසන්, කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය අවසන්, මැණික් ගඟ සංවර්ධන ව්‍යාපෘතිය අවසන්, ගල් අමුණ ව්‍යාපාරය අවසන්, වෑමැඩිල්ල ජලාශ ව්‍යාපෘතිය අවසන්, වේලිඔය අමුණු ව්‍යාපෘතිය අවසන්, වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය අවසන්. "වාරි පුබුදුව" කියලා අපි විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. ඒ ව්‍යාපෘතිය මඟින් ජපන් ආධාර සහිතව අපි විශාල වැව් අමුණු ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කළා. ඒ වාගේම රඹුක්කන් ඔය ව්‍යාපෘතිය අවසන්, ගල්ඔය නවෝදය ව්‍යාපෘතිය අවසන්.


    ගල්ඔය ව්‍යාපාරය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා හදපු එක ඇත්ත. නමුත් අද ඒ ගල්ඔය ව්‍යාපෘතියත් වියපත් වෙලා තිබෙන්නේ. ඒක නිසා එම ව්‍යාපෘතියත් අපි නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕනෑ. දැන් අපි චෙකෝස්ලෝවැකියානු රජය සමඟ එකතු වෙලා  එහි තිබෙන පිටවාන සහ ජලය පිටවන වාන් දොරටු නවීකරණය කරනවා. එදා හැදුවා කියලා මේවා හැම දා ම එක විධියට පවතින්නේ නැහැ.


    ඒ විතරක් නොවෙයි.  අපේ වේලි ආරක්ෂණ‍ ව්‍යාපෘතිය මඟින්,  DSWRP Project  එකෙන්  බිලියන අටක මුදල් යොදවා  වියපත් වූ වැව් 38ක්  නැවත ප්‍රතිසංස්කරණය කරලා තිබෙනවා. ලෝක බැංකුව ආසියානුකරයේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති අතරින් ඉතාම විශිෂ්ට ව්‍යාපෘතිය හැටියට   DSWRP Project   හඳුනා ගෙන,  අපට තවත්  බිලියන 8ක් මේ අවුරුද්දේ තවත් වැව් ගණනාවක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලබා දීලා තිබෙනවා. එහෙම තමයි අන්තර් ජාතික මට්ටමෙන් අපිව අගය කරන්නේ. දේශපාලන දෘෂ්ටි කෝණයකින් නොවෙයි, තාක්ෂණික දෘෂ්ටි කෝණයකින් බැලුවාම, අපට ඒ ලැබෙන්න ඕනෑ ගෞරවය අපේ ඉංජිනේරුවන්ට, අපේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට, මහවැලි අධිකාරියට ලැබිලා තිබෙනවා.
     

    එපමණක් නොවෙයි.  අපේ ගරු රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීතුමාට කියන්න ඕනෑ,  අපි වැව් අමුණු ගණනාවක්ම පහළ ඌව ව්‍යාපෘතිය තුළින් හදා ගෙන යන බව.  සමහර ඒවා හදලා අවසන්,  ඔය කියන මොනරාගල දිස්ත්‍රික්කයේ.  ඊළඟට එතුමාට අමතක වෙලා තිබෙනවා, අපේ අතිගරු ජනාධිපතිතුමා ඉරාන රජයෙන් ලබා ගත්ත සහනදායී ණය මුදල් තුළින් විශාල ව්‍යාපෘතියක් මොනරාගලට ජලය ලබා දීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන බව.   මා දේශපාලන නායකත්වය දෙන බදුල්ල දිස්ත්‍රික්කයේ තිබෙන උමා ඔය හරවා ඩයර්බා  ජලාශයේ සිට අලිකොටආර දක්වා කිලෝමීටර් 20ක උමඟක් තුළින් ජලය ගෙන ගිහිල්ලා,  භූගත Power House එකක්,  ජලවිදුලි බලාගාරයක් හදලා ජල විදුලියත් නිෂ්පාදනය කරලා උමා ඔයේ  ඒ  අතිරික්ත ජලය  මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට දෙන්න දැන් ව්‍යාපෘතිය කෙරී ගෙන යනවා.  ඉතින් එතුමන්ලා කියනවා, මොනරාගල දිස්ත්‍රික්කයට මොනවත් ලැබිලා නැහැයි කියලා.  මොනරාගල දිස්ත්‍රික්කයේ දරිද්‍රතාව අඩු කිරීම සඳහා අප විසින් මේ ආකාරයට ඉතාම පැහැදිලි සැලැස්මක් ඇතිව වැඩ කටයුතු කරනවා.
     

    එපමණක් නොවෙයි. ගිං, නිල්වලා ගංගා දෙකේ ගලා යන අතිරික්ත ජලය අපි නැවත චන්ද්‍රිකා වැවට ගෙන ගිහිල්ලා ජල ගැල්ම පාලනය කිරීමත් එක්කම, වියළි ප්‍රදේශවලට ඒ ජලය ගෙන යාමේ සුවිශේෂී ව්‍යාපෘතියට දැන් අත්සන් කරලා ඒක අපි තව සතියකින් දෙකකින් පටන් ගන්නවා.  ඒ නිසා මේ රටේ වාරි ජල අවශ්‍යතාව ඉතාම පැහැදිලිව හඳුනා ගනිමින් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික කටයුතු කර තිබෙනවා.
     

    එපමණක් නොවෙයි දැනට සැලසුම් අවසන් කරලා තිබෙනවා, කිවුල් ඔය ජලාශය,  තල්පිටිගල ජලාශය ක්‍රියාත්මක කිරීම සඳහා. තල්පිටිගල ජලාශය ක්‍රියාත්මක කිරීම  විශේෂයෙන්ම මා නියෝජනය කරන බදුල්ල දිස්ත්‍රික්කයේ බදුළු ඔය ප්‍රදේශවාසී ජනතාව කාලාන්තරයක් තිස්සේ කරන ඉල්ලීමක්. එය අපි  ක්‍රියාත්මක කරනවා.  රනැල්ල ජලාශය අපි ක්‍රියාත්මක කරනවා. මේ සඳහා අවශ්‍ය සක්‍යතා අධ්‍යයන කටයුතු අපි කරගෙන යනවා.  අපට ඕනෑ, ඕනෑ විධියට වැව් අමුණු හදන්න බැහැ. පරිසරය, වන සංරක්ෂණය සම්බන්ධයෙන් තිබෙන නීති රීති රෙගුලාසි යටතේ, ඒ පරිසර වාර්තා අපි ලබා ගන්නට ඕනෑ. ඒ සඳහා සෑහෙන කාලයක් ගත වනවා, දැනට තිබෙන නීති රීති පද්ධති අනුව. අපි ඒවාටත් ගරු කරන්න ඕනෑ, පරිසරය ආරක්ෂා කරන්න ඕනෑ.
     

    ඊළඟට පහළ මල්වතු ජලාශය, ඉහළ ඇළහැර ව්‍යාපෘතිය, උතුරු මැද පළාත් ඇළ සංවර්ධනය, වයඹ පළාතේ -විශේෂයෙන්ම දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව මඟින්  මුදල් දීලා තිබෙනවා, වයඹට ජලය ගෙන යන මේ ව්‍යාපෘතිය 2015 වර්ෂයේදී ආරම්භ කරන්නට. ඒ වාගේම මිනිපේ අමුණු ව්‍යාපෘතිය, බස්නාගොඩ ව්‍යාපෘතිය, කළුගල්ඔය ජලාශය, යාන් ඔය ජලාශයේ වැඩ දැනටමත් අපි ආරම්භ කරලා තිබෙනවා.
     

    ඒ වාගේම අපි බලාපොරොත්තු වනවා, ලංකාවේ ප්‍රථම වරට කාලිංගනුවර සිට -ඒ කියන්නේ, මින්නේරියේ සිට-  ජලය ඉහළට පොම්ප කරලා ඒ ජලය මින්නේරිය වැවට දාලා ගලාගෙන යන ජලය මුහුදට ගලා යන්නට ඉඩ නොදී, එයින් කොටසක් නැවත ඉහළට පොම්ප කරලා ඒ ජලය ලබා ගැනීමට. ඒ ව්‍යාපෘතියේ සියලුම සක්‍යතා අධ්‍යයන වාර්තා දැන් සකස් කරලා ආයෝජකයෙකුත් සොයා ගෙන අවසානයි. ඒ නිසා අපි මේ වැඩ කටයුතු  දීර්ඝ කාලීන දැක්මකින් යුතුව,  ඉතාම හොඳින් සැලසුම් කරලා තිබෙනවා. ඒ වාගේම ඉහළ හසලක ජලාශය පිළිබඳ ව දැනට අපි සක්‍යතා අධ්‍යයන කටයුතු කරනවා.


    නක්කල ජලාශ ව්‍යාපෘතිය, පරංගි ආරු ජලාශ ව්‍යාපෘතිය, මහවැලි වම් ඉවුර පහළ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය, කච්චිගල්ආර ද්‍රෝණි ව්‍යාපෘතිය, පහළ දැදුරු ඔය සංවර්ධන ව්‍යාපෘතිය, කැලණි ගඟ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය, හැඩඔය ව්‍යාපෘතිය, මුන්දෙනු ආරු, රූගම්, කිතුල් වැව ව්‍යාපෘතිය වාගේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනවා. අපේ TNA පක්ෂයේ මන්ත්‍රීතුමා පවා ඒ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති සම්බන්ධව අපට ‍ස්තුති කළා. එතුමන්ලා දන්නවා, අපි උතුරු, නැ‍ඟෙනහිර ප්‍රදේශ අත හැරලා නැහැ කියලා. ඒ වාගේම දේශගුණික සංකූලතා ප්‍රතිවර්තන ව්‍යාපෘතිය කියලා ලෝක බැංකු ණය ආධාර යටතේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වාගේම රන්දෙනිගල කළුගඟ පෝෂිත ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. මේ වාගේ කියන්න ගියොත් තව පැය ගණනක් කියන්න තරම් ව්‍යාපෘතින් රාශියක් අප විසින් මේ ආකාරයට ක්‍රියාත්මක කරනවා,


    මේ රටේ වාරි ජල අවශ්‍යතාව ඉතා හොඳින් තේරුම් ගනිමින් අපි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මේ අය හිතනවා, මේවා දවසින් දෙකින් කරන්න පුළුවන් වෙයි කියලා. එක්සත් ජාතික පක්ෂය අවුරුදු ගණනාවක් තිස්සේ අත ඇරලා දාලා තිබුණු මේ වාරිමාර්ග අංශය අපි දිනෙන් දින ශක්තිමත් කරනවා. නමුත් ඒ සඳහා කාලයක් ගත වෙනවා. මුදල් තිබුණා කියලා වැඩ කරන්න බැහැ. ඉංජිනේරුවරුන්ගේ හිඟය තිබුණා. මේ රටේ ඉංජිනේරුවරුන්ගේ හිඟය වාගේම තාක්ෂණික නිලධාරින්ගේ හිඟයත් තිබුණා. ඒ සඳහා අපි ක්‍රමවේදයන් හොයා ගත්තා. අපි විශේෂ අන්තර් ජාතික තාක්ෂණික පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් කොත්මලේ ආරම්භ කළා. දැන් එහි තුන්වැනි  batch එකත් අපි ඊයේ, පෙරේදා ගත්තා. අපේ ගල්ගමුව පුහුණු මධ්‍යස්ථානයේ තිබෙන ධාරිතාව -capacity එක-  වැඩි කරලා වි‍ශාල ප්‍රමාණයක් අරගෙන 500ක් පමණ තාක්ෂණික නිලධාරින් අපි සකස් කරගෙන තිබෙනවා. එහෙම නැතුව මේ වාරි මාර්ග ක‍්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන්න බැහැ. ඒ නිසා මේ සෑම අංශයක් කෙරෙහිම අපේ අවධානය යොමු කරලා, ඉදිරි කාලය තුළදී අපේ රටේ මේ ජල සුරක්ෂිතතාව ඇතිවන ආකාරයට තමයි අපි මේ වැඩ කටයුතු ඉෂ්ට කරගෙන යන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම වාරි මාර්ග දෙපාර්තමේන්තුවත්, මහවැලි අධිකාරියත් කියන මේ ආයතන දෙකේම පිරිස් බලය වඩ වඩාත් ශක්තිමත් කරමින්, කාර්මික නිලධාරින් හා ඉංජිනේරුවන් ආකර්ෂණය‍ කර ගැනීමට තිබෙන අපහසුකම් සියල්ල මඟ හරවා ගැනීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම මම නියෝජනය කරන දිස්ත්‍රික්කයේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වශයෙන් තිබෙන රිදීමාලියද්ද ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ කාලාන්තරයක් තිස්සේ තිබුණු එකම ඉල්ලීම වුණේ නාගදීප වැවට වැඩි ජල ධාරිතාවක් ලබා ගන්න කියලා.


    අද බදුල්ල ගැන කතා කරනවා. ඒ අය කියනවා, බදුල්ල පැරදුණාලු. මහ ඇමති අපේ. ඇමති මණ්ඩලය අපේ. පළාත් සභාව අපේ. හරින් ප්‍රනාන්දු විපක්ෂ නායක. අපි බදුල්ල පැරදිලාද? දිස්ත්‍රික්කය දිනුම්. මෙන්න, මේ වාගේ තර්ක තමයි ඉදිරිපත් කරන්නේ. ඒ අය දිනලා. හැබැයි දිනලා ඉන්නේ විපක්ෂයේ. ඒ අය කියන විධියට පැරදුණු අපි ඉන්නේ ආණ්ඩු පක්ෂයේ. මා මේ කාරණය කියන්නට ඕනෑ. ඒ රිදීමාලියද්ද ජනතාව වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා මිලියන 2,500ක් අපට දීලා අද ලොග්ගල්ලා ඔය හරස් කරමින් අපි මොරාණ ව්‍යාපෘතිය ආරම්භ කරලා තිබෙනවා; විලකන්ඩිය ව්‍යාපෘතිය ආරම්භ කරලා තිබෙනවා. මේ විධියට ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අපි කටයුතු කරලා තිබෙනවා. වාරි ජලය කොතැනින්ද ලබා ගන්න පුළුවන් ඒ ලබා ගැනීමේ ක්‍ර‍මවේදයන් ගැන සොලා බලා, ජනතාව අවතැන්වීම අවම කරලා ඉතාම ප්‍රායෝගික වූ ක්‍රමවේදයන් රාශියක් මඟින් ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනහිල්ලා තිබෙන බව ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ වාගේම මාගේ අමාත්‍යාංශය යටතේ තිබෙන මහවැලි අධිකාරිය ගැනත් යමක් කියන්න ඕනෑ.


    මහවැලිය ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු හුඟක් දේවල් කියනවා. නමුත් මහවැලි ජානපදිකයන්ට ඔප්පු දුන්නේ නැහැ. මම තමයි ඔප්පු ටික ලබා දුන්නේ. දැන් මේ වෙන කොට ඔප්පු ලබා ගත් අය 75,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. තවත් 50,000කට දෙන්න තිබෙනවා. ඉතින් ඒ වාගේ අඩු පාඩුත් තිබුණා. අවුරුදු 30කට, 40කට පෙර පදිංචි කළා. ඔප්පුවක් දුන්නේ නැහැ. බලපත්‍රයක් දුන්නේ නැහැ. ඒ ලෙඩ ඔක්කෝම භාර ගන්න වුණේ, අපට. ඒ නිසා අපි තමයි මහවැලි ජානපදිකයන් ශක්තිමත් කළේ. අපි තමයි ඔවුන්ට ආශ්වාදයක් ලබා දුන්නේ. පෙරේදාත් මම ඔප්පු 5,000ක් දුන්නා, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම, හුරුළුවැව කියන කලාපවල ජනතාවට. ඒක තමුන්නාන්සේලාත් දකින්න ඇති. ඒ නිසා අපි ඒ තිබෙන අඩු පාඩුකම් තෝරාගෙන මහවැලි ජානපදිකයන්ගේ හදවතට සංවේදීවන ඒ ප්‍රශ්න සියල්ල හොයා ගෙන අපි ඔවුන් වෙනුවෙන් විශාල සේවාවක් කරලා තිබෙනවා.


    ඒ වාගේම, මහවැලි අධිකාරිය අපි පිරිස් බලය එකතු කරලා, ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන් සෑම දෙයක්ම කරලා එහි කාර්යක්ෂමතාවය වැඩි කරලා තිබෙනවා.  එපමණක් නොවෙයි, ජල සම්පත් මණ්ඩලය මන්දගාමී මණ්ඩලයක් බවට පත් වෙලා තිබුණේ.  අද  DSWRP Project එකට නළ ලිං ව්‍යාපෘතියක් කරන්න අපි මිලියන 500ක් පමණ ලබා දීලා තිබෙනවා.  එපමණක් නොවෙයි, භූගත ජලය පිළිබඳව විශේෂ පරීක්ෂණ ගණනාවක් ලංකාවේ ප්‍රදේශ ගණනාවක සිදු කරනවා.  ඒ වාගේම, ජලය නොමැති සුවිශේෂී ගම්මාන සොයා බලා ඔවුන්ට ජලය පොම්ප කරලා, නල ලිං මඟින් ජලය ලබා දීමේ ව්‍යාපෘති ගණනාවක් අනුරාධපුරය, වව්නියාව, යාපනය සහ බදුල්ල කියන මේ දිස්ත්‍රික්කවල අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා.  එපමණක් නොවෙයි, මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය ඉදි කිරීම් ක්ෂේත්‍රයේ යෝධයෙකු ලෙස විශාල ශක්තියක් අපේ රජයට ලබා දෙමින් අතිමහත් සේවාවක් කරනවා.  ලංකාවේ පමණක් නොවෙයි, විදේශ රටවල්වලට පවා ගිහිල්ලා තමන්ගේ තාක්ෂණික දැනුම ලබා දෙමින් ඉංජිනේරුවන් 500කට වැඩි ප්‍රමාණයකට රැකියා රක්ෂා සපයමින් ලංකාවේ රාජ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ඉංජිනේරු සංස්ථාවක් බවට අද Central Engineering Consultancy Bureau (CECB) ආයතනය පත් වෙලා තිබෙනවා. Central Engineering Consultancy Bureau (CECB) ආයතනය යටතේ සමාගම් කිහිපයක් හදලා තිබෙනවා.  ඒ ප්‍රායෝගික වශයෙන් ඒවායේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා.


    මගේ අමාත්‍යාංශයේ මේ කියන වැඩ කටයුතු රාශියක් අපි ඉෂ්ට කරලා තිබෙනවා.  එසේම අපි කියන්නට ඕනෑ, දැන් සුඟලාදේවී වැව ගැන කිව්වා.  අපි ඒක පිළි ගන්නේ නැහැ.  සුඟලාදේවී වැවේ එහෙම leak එකක් නැහැ.  වැවක් වුනාම ‍එහෙන් මෙහෙන් වතුර ටිකක් වැස්සට ගලාගෙන ගියාම කියනවා වැවේ leak එකක් කියලා.  ඉතින් මේවා තාක්ෂණික වශයෙන් ඔප්පු කරපු දේවල් නොවෙයි ගරු මන්ත්‍රීතුමනි.  ඒවා කියන්නන් වාලේ කියනවා.  දුවන්නන් වා‍ලේ කෙට එළදෙන දිව්වා වාගේ.


    ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා අපේ අමාත්‍යාංශය මේ ආකාරයෙන් ශක්තිමත් කිරීම පිළිබඳව.  ගරු මන්ත්‍රීතුමනි, ඒ වාගේම අපි අද සතුටු වෙනවා අපේ ජනාධිපතිතුමාට නැවත වතාවක් තරග කරලා ජයග්‍රහණය කරන්න අපිට පුළුවන්. ඒ තිබුණු නීතිමය බාධකයක් දැන් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලි ඒකමතික තීන්දුවක් මඟින් අපේ ජනාධිපතිතුමාට තුන් වැනි term එකට යන්න පුළුවන් කියන තීන්දුව ලබාදීලා තිබෙනවාය කියන එකත් මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමැතියි.


    His Excellency the President Rajapaksa, shall exercise his rights and powers vested in him by virtue of Article 31 (3a) (a) (i) of the Constitution and seek reelection for a further term and there exists no impediment for His Excellency to exercise the rights and powers accorded to him under the Constitution to offer himself for a further term.
     

    මෙන්න මේ ආකාරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලි ව ම අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවත වතාවක් තරග කිරීම සඳහා මැතිවරණයක් කැඳවීමට, ප්‍රකාශනයක් කිරීමට තිබෙන අයිතිය ඉතාමත් ම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31.(3අ) (අ) (i) වන ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලය ක්‍රියාත්මක කරමින් තවත් වාරයක් සඳහා තෝරා පත්වීමට, මැතිවරණයක් සඳහා ඉදිරිපත් වීමට කිසිදු නීතිමය බාධකයක් වර්තමාන ජනාධිපතිවරයාට නොමැති බවත්, අතිගරු ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ලැබෙන එකී බලය ක්‍රියාත්මක කරමින් තවත් වාරයක් ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වීමට හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කරලා තිබෙනවා. ඒක අපේ සතුටට කාරණයක්. එතුමාට ඒ අවස්ථාව ලැබෙයිද කියන කරුණ පිළිබඳව කාගේ හරි හිතක යම් සැකයක්, සාංකාවක් තිබුණා නම්, ඒ සියල්ලම දුරලා නිර්භයව එතුමා කල්පනා කරන ඕනෑම වෙලාවකදී ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට අපේ නායකතුමාට; අප රට බේරා ගත් නායකයාට අවස්ථාවක් ලැබීම ගැන අපි බොහෝ සතුටු වන බව ප්‍රකාශ කරමින් මගේ කථාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.

     

    HC/NDH

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya