අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    1978න් පසු ලැබුණු විදේශ ආයෝජනවලින් 76%ක් ම 2005 - 2014 කාලයේ දී Featured

    නොවැම්බර් 12, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) 1978 දී විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමෙන් පසු ව 2014 දක්වා මෙරටට විදේශ ආයෝජන ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 10771ක් ලැබී ඇති නමුත් ඉන් 76%ක ම විදේශ ආයෝජන පැමිණ තිබෙන්නේ 2005 - 2014 කාලසීමාවේ දී යැයි ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අටවෙනි දින විවාදයට එක්වෙමිනි.


    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ 149, 295, 297, 299 හා 303 වැය ශීර්ෂයන් ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ 187 වැය ශීර්ෂය ද සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ 116, 298, 300 හා 302 වැය ශීර්ෂයන් ද අද පස්වරු 1.00 සිට 6.30 දක්වා විවාදයට ගැනේ.


    අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. “අද වන විට ශ‍්‍රී ලංකාව තුළ පවතින දේශපාලන ස්ථාවරභාවය, කල්පවතින සාමය හා ආයෝජන හිතකර පරිසරය ආයෝජකයන් දිරිගැන්වීමට සමත් වී තිබෙනවා. ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යංශය ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ ප‍්‍රධාන කොටස්කරුවකු ලෙස ක්‍රියා කළ වසරක් ලෙස 2014 වසර සඳහන් කළ හැකි බවත් මෙරට ඉතිහාසයේ විශාලතම ව්‍යාපෘතිය වන "කලම්බු පෝර්ට් සිටි" ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකිවීම රටක් වශයෙන් පියවරක් ඉදිරියට තැබූ වසරක් ලෙස 2014 සඳහන් කළ හැකියි.

     

    අගනුවර සිතියම පවා වෙනස් කරමින් ඇ. ඩොලර් බිලියන 1.6ක යෝධ ව්‍යාපෘතියක් වන "කලම්බු පොර්ට් සිටි" ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකා භූමි ප‍්‍රමාණයට අලුතින් එක්වන නගරයයි.  මීට අමතර ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති මෙන් ම දිවයින පුරා ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති රැසක් ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වේ. මෙරට ආයෝජන ක‍්‍රියාත්මක කිරීමේ දී යම් ප‍්‍රමාණයක සීමාවන් පවත්වා ගෙන යාමට අප වගබලා ගන්නවා.  ශ‍්‍රී ලංකාවේ සංස්කෘතිය, සදාචාරය, පරිසර සුරක්‍ෂිතභාවය වැනි කරුණු රැසක් පිළිබඳ ව පුළුල් ව අධ්‍යයනයකින් අනතුරුව රටට ගැළපෙන ව්‍යාපෘති සඳහා පමණක් අනුමැතියන් ලබාදීම අප අමාත්‍යංශය සිදු කරනවා.


    කෙසේ නමුත් ආයෝජනයන් සඳහා රටවල් අතර පවතින්නේ විශාල තරගයක්.  විශේෂයෙන් නැගී එන ලෝක ආර්ථිකයේ ප‍්‍රබල ම රටවල්  වන ආසියානු රටවල් අතර මේ සඳහා විශාල තරගයක් පවතිනවා. කොමියුනිස්ට් රටවල් වූ චීනය, වියට්නාමය අද ආයෝජකයන්ට තම රටවල දොරටු විවෘත කර හමාරයි.  කලාපයේ අනෙක් රටවල් හා සැසඳීමේදී එම රටවල් ආයෝජකයන්ට පහසුකම් ලබාදීමේ දී අපට වඩා ඉදිරියෙන් සිටිනවා. දූපත් මානසිකත්වයෙන් මිදී ලෝක ආර්ථික ප‍්‍රවණතාවන් හඳුනා ගනිමින් අපට ගැළපෙන ක‍්‍රමවේදයන් සකස් කර ගත යුතුයි මා සිතනවා.ඉදිරි වසර තුළ දී මෙරට ආයෝජන කර්මාන්ත ශාලා කලාප 12ට පමණක් සීමා කිරීමට අදහස් කරන්නේ නැහැ. ග‍්‍රාමීය ප‍්‍රදේශ තුළට ව්‍යාපෘති  රැගෙන යමින් ව්‍යාපෘති 300ක් ක‍්‍රියාත්මක කිරීමට අප අමාත්‍යංශයේ අරමුණයි. ඒ තුළින් නගරයට හා සමානව ගම ද දියුණු කිරීම රජයේ අරමුණයි.


    පසුගිය වසර කීපය තුළ මෙරට ආයෝජනයට අවශ්‍ය පරිසරය සකස් කිරීම සතුටුදායක ලෙස සිදු කරනවා.  ඒ අනුව මුළු රටපුරා එක සමාන අයුරින් යටිතල පහසුකම් ඇති වී තිබෙනවා. අද වන විට ශ‍්‍රී ලංකාව තුළ පවතින දේශපාලන ස්ථාවරභාවය, කල්පවතින සාමය හා ආයෝජන හිතකර පරිසරය ආයෝජකයන් දිරිගන්වන්න සමත් වී තියෙනවා. මේ සඳහා දිය හැකි හොඳ ම උදාහරණය වන්නේ ඇමරිකාවේ සිට පළ කරන ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාවේ නොවැම්බර් කලාපයේ ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් පළකර ඇති ලිපියයි. එහි මෙරට දේශපාලන ස්ථාවරභාවය, කොටස් වෙළෙඳපොළ ස්ථාවර වර්ධනය සහ ඉන්දියවේ නව දේශපාලන වාතාවරණය හමුවේ ශී‍්‍ර ලංකාවට ඇති වාසි තත්ත්වය පිළිබඳ ව ධනාත්මක ව අදහස් පළ කර තිබෙනවා.


    ලොව ප‍්‍රබල ආයෝජකයන් මෙරට ආයෝජනය කෙරෙහි තම අවධානය යොමුකර සිටිනවා. කෙසේ වුවත් ගතවූ මාස 10 තුළ ව්‍යාපෘති 144 අනුමත කිරීමට අපට හැකි වුණා.  එහි වටිනාකම ඇ.ඩො. මිලියන 1789 ක්.  මින් නව රැකියා අවස්ථා 8,000කට වැඩි ප‍්‍රමාණයක් ජනිත වෙනවා. 2014 ජනවාරි සිට ජූනි දක්වා වූ කාලවකවානු තුළ මෙරටට පැමිණි ඍජු විදේශ ආයෝජන ප‍්‍රමාණ ඇ.ඩො. මිලියන 853කි. එය පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේ දී  58%ක වර්ධනයක්.


    ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක‍්‍රියාත්මක ව්‍යවසායන් තුළින් මෙරට ශ‍්‍රම බලකාය තුළ 488,470 රැකියා අවස්ථා ලබාදී ඇත.  2014 වසර තුළ නව රැකියා 10,000කට වැඩි ප‍්‍රමාණයක් ජනිත කිරීමට අප අමාත්‍යංශයට හැකිවිය.


    2014 ජනවාරි -  ආයෝජන කාලසීමාව තුළ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යවසායන් තුළින් අපනයන ඉපයීම එක්සත් ජනපද ඩොලර් මිලියන 4,406ක  අගයක් ගන්නා ලදී.  එය 2013 එම කාලයක් සැසඳීමේ දී 9%ක වර්ධනයකි. අතිගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ 2020 වනවිට ශ‍්‍රි ලංකාවේ  ආර්ථික ශක්තිය වඩා සුබදායි ලෙස තහවුරු කර ගැනීම අප අමාත්‍යංශයේ අපේක්‍ෂාවයි.


    ඒ සඳහා 8%ක ආර්ථික වර්ධනයක් පවත්වා ගෙන යාමට හැකි වටපිටාව අප සකස් කළ යුතුයි. දළ දේශීය නිෂ්පාදනය සඳහා සමස්ත ආයෝජනය 40% දක්වා ඉහළ නැගීමට අප බලාපොරොත්තු වනවා. මේ අතරට රාජ්‍ය ආයෝජනය 07%ක ප‍්‍රමාණයක් සපුරාගැනීම අප  අපේක්‍ෂාවයි.  පුද්ගලික අංශය විසින් ඍජු විදේශ හා දේශීය ආයෝජන 33%ක ප‍්‍රමාණයක් සිදුකරනු ඇතැයි අප අපේක්‍ෂා කරනවා. මේ සියලු දේ තුළින් අපේක්‍ෂා කරනුයේ වසර 2016 වනවිට දළ දේශීය නිෂ්පාදිත අගයෙන් 5%ක් ඍජු විදේශ ආයෝජන බවට පත් කිරීමයි. ඒ තුළින් 8%ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya