වෙලාවට වැඩ කරන, වංචාව, දූෂණය, නාස්තිය රුස්සන්නේ නැති අපේ අමාත්‍යාංශයේ ඇමතිවරයාගේ සිට මිදුල අමදින අය දක්වා එකම පවුලක් ලෙස කටයුතු කරන බවත්, එයට ගැළපෙන්න බැරි ඕනෑම අයෙකුට අමාත්‍යංශය තුළ දිගු ගමනක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ සහ විශ්වවිද්‍යාල විද්‍යායතනවලට අලුතින් බඳවා ගන්නා ලද සේවක සේවිකාවන් 147 දෙනෙකුට නව පත්වීම් ප‍්‍රදානය කිරීමෙන් අනතුරු ව අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
"අද අපේ අමාත්‍යාංශ පවුලට අලුත් සාමාජිකයන් පිරිසක් එකතු වෙනවා. මම පවුලේ ප‍්‍රධානියා ලෙස තාවකාලික ව කටයුතු කරනවා. අපේ පවුලට එකතු වන සියලු දෙනාට ම එක සමානව සැලකීම අපේ පවුලේ විශේෂත්වයක්. අලුත් කෙනා, පරණ කෙනා, උතුරෙන් ආපු කෙනා, දකුණෙන් ආපු කෙනා, සිංහල කෙනා, දමිළ කෙනා, උඩරට කෙනා, පහතරට කෙනා, ආදී වශයෙන් අපේ කිසිඳු වෙනස් කමක් නැහැ. අපේ අමාත්‍යාංශ පවුලට එකතුවීම ඔබට රාජ්‍ය සේවයට එකතු වුණාට වඩා වැඩි ගෞරවයක්".
"අද මෙතන ඉන්න 31 දෙනෙකුට මම කියන දේ තේරෙන්නේ නැහැ. ඒ අපේ රටේ ඉතිහාසයේ සිදු වූ බරපතළ වැරැද්දක් නිසයි. දමිළ ජාතිකයන් වූ ඔබට මා කියන දේ නොතේරීම මට ලැජ්ජාවට කරුණක්. ඒ ලැජ්ජාව මට උරුම කළේ, මගේ දෙමව්පියන්වත්, මගේ ගුරුවරුන්වත් නොවෙයි. එම සාහසික අපරාධයට වගකිව යුත්තේ මේ රටේ හිටපු පාලකයන්. මේ වරද නිවැරදි නොකිරීමේ පාපකර්මයට උතුරේත්, දකුණේත් තරුණයන් ලක්ෂ ගණනක් වසර 30ක් තිස්සේ රුධිරයෙන් වන්දි ගෙව්වා. අපි ජීවත් වෙන්නේ දූපතක. දුපතේ සම්පූර්ණ ජනගහනය මිලියන 21 යි. මේ මිලියන 21ම ජීවත් වෙන්නේ වර්ග සැතපුම් 25332ක සියලු ම දෙනා කතා කරන්නේ භාෂාවන් දෙකයි. මේ භාෂාවන් දෙක කතා කරන අතිබහුතරයකට තමන්ගේ සහෝදර භාෂාව තේරුම් ගන්න බැහැ. මේ ඓතිහාසික වරද නිවැරදි කිරීම ආරම්භ කළ නායකයා අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමයි. දමිළ කතා කරන සියලු දෙනා ම සිංහල භාෂාවත්, සිංහල කතා කරන සියලු දෙනා ම දමිළ භාෂාවත්, දෙගොල්ලන්ට ම ඉංග‍්‍රීසි භාෂාවන් ඉගැන්වීමට එතුමා උපදෙස් දීලා තිබෙනවා".
"මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොසිටින්න අපේ රටේ රාජ්‍ය සේවය මෙතරම් පුළුල් වන්නේ නැහැ. එක්තරා යුගයක රාජ්‍ය සේවය ලක්ෂ 06 දක්වා අඩු කරන්න ක‍්‍රියා කරන බව පවසමින් මැතිවරණ ප‍්‍රකාශන පවා එළි දක්වලා තිබුණා. එදා අගමැතිවරයා ලෙස සිටි එම මැතිවරණ ප‍්‍රකාශනය එළි දක්වපු අය රටේ ජනාධිපතිවරයා වූවා නම් රාජ්‍ය සේවය ලෙස අද ඉතිරිවන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුව, බණ්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව වගේ කීපයක් පමණයි".
"අපේ අමාත්‍යාංශයට ජනාධිපතිතුමා අති විශාල වගකීමක් පවරා තිබෙනවා. රටක ශ්‍රේෂ්ඨත්වය, ශීලාචාර බව මනින මිමි තුනක් තිබෙනවා. යම් රටක් ඒ රටේ දරුවන්ට සලකන්නේ කොහොමද? කියන කාරණය එක මිම්මක් රටේ ආබාධිතයන්ට සලකන විදිය මෙන් ම වැඩිහිටියන්ට සලකන ආකාරය අනිත් මිමි දෙකයි. අපේ රට මේ දර්ශක තුනෙන් මැනලා බලන්න කියලා, මම ඔබට ආරාධනා කරනවා. මෙවර අයවැය මේ දර්ශක තුන වෙනුවෙන් ලබා දී තිබෙන දායකත්වය තක්සේරු කරන්න".
"2016 වන විට අපේ රටේ ආර්ථිකය කොහාටද? යා යුත්තේ කියන කාරණය සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශයට මාර්ග සිතියමක් තිබෙනවා. කාර්මික අධ්‍යාපනයේ ඉතිහාසය 1893 දක්වා දිව යනවා. කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භ කරලත් මේ වන විට වසර 60 කට වැඩියි. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල විද්‍යායතන සංකල්පය ටිකක් අලුත්. මෙම වැඩපිළිවෙළ හරහා 2015 වන විට තාක්ෂණික ශ‍්‍රී ලංකිකයා නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. 2016 දී නූතන ශ‍්‍රී ලාංකේය රාජ්‍ය නිර්මාණය කිරීමයි, අරමුණ වන්නේ".
රටේ හත් වන ජනාධිපතිවරණය බොහෝ දුරට නොබෝ දිනකින් පැවැත්වෙන්නට ඉඩ තිබෙන බවත් මැතිවරණ දිනය ප‍්‍රකාශයට පත් කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
DB