මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් වගා සංවර්ධනයට මෙවර අයවැයෙන් මිලියන 1000ක්

    නොවැම්බර් 17, 2014

    මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ජනාධිපතිතුමා ඉදිරිපත් කළ 2015 අයවැයේ දී පොල් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීම ප්‍රශංසනීය බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

     

    පොල් වගාව හා නැවත වගාව සඳහා ලබාදෙන සහනාධාරය අක්කරයට රු. 7,000 සිට රු. 10,000 දක්වා වැඩි කිරීමටත් පොල් වතු පුනරුත්ථාපනය කිරීමට අක්කරයකට රු. 20,000ක සහනාධාරයක් ලබා දීමටත් පොල් ඉඩම්වල පස සාරවත් කිරීමේ හා ජලය රඳවාගැනීම ආරක්ෂා කිරීමට “කප්රුක ආයෝජන ණය ක්‍රමය“ යටතේ ලබා දෙන ණය මුදල රු. ලක්ෂ 30 දක්වා වැඩි කිරීමටත් අයවැයෙන් යෝජනා වී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

     

    පොල් සඳහා වන කිලෝ 50ක පොහොර මල්ල තවදුරටත් රු. 1250කට ලබා දීම හා කුඩා පොල් වතු හිමියන්ගේ සැඳෑ සමයේ ස්ථිර ආදායමක් ලබා ගැනීම හා වගා හානි සඳහා වන්දි ලබා ගැනීමට හැකි වන පරිදි ඔවුන් “ගොවි විශ්‍රාම වැටුප් හා බෝග රක්ෂණ ක්‍රමය“ ට ඇතුළත් කිරීම වැවිලිකරුවන්ට මහත් සහනයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

    පොල් වගාව තුළ කාබනික පොහොර යෙදීම දිරිගැන්වීම සඳහා රු. මිලියන 50ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර වැලිගම පොල් කොළ මැළවීමේ හා කුණු වීමේ රෝග මර්දන වැඩසටහන සඳහා රු. මිලියන 100ක ප්‍රතිපාදන මෙවර අය-වැයෙන් වෙන් කර ඇත.

     

     

    2011- 2016 ඉලක්කගත පොල් පැළ නිෂ්පාදනය මිලියන 32 ක් වන අතර මේ වන විට මිලියන 25ක් පමණ පොල් පැළ නිෂ්පාදනය කර ඇති බවත් ලබන වසරේ දී මිලියන 32 ඉලක්කය අබිබවා යමින් පොල් වගා සංවර්ධනයේ ඉහළ තලයකට ගමන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය. දැනට පල්ලම අඹ කැළේ ඉඩමක දෙමුහුම් පොල් පැළ නිෂ්පාදනය සිදු කෙරෙන අතර ජනාධිපතිතුමා විසින් දෙමුහුම් පොල් පැළ නිෂ්පාදනය සඳහා පුනරීන්හි නව ඉඩමක් ලබා දුන් බැවින් ඉදිරියේදී මෙම කාර්යය වඩා කාර්යක්ෂම ව සිදු කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

     

    2011 සිට 2014 සැප්තැම්බර් මාසය දක්වා පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් පොල් පැළ මිලියන 20කට ආසන්න සංඛ්‍යාවක් බෙදා දී ඇති අතර 2011 සිට 2013 දක්වා පොල් වගා කිරීමේ ඉඩම් ප්‍රමාණය 151,000 දක්වා වැඩි කිරීමට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශය හා ඒකාබද්ධ ආයතන සමත් වී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

     

     

    හලාවත පොල් වැවිලි සමාගම යටතේ පළුගස්වැව වත්ත පොල් තෙල් කර්මාන්තශාලාවක් අරඹා රජයේ මිල පාලනය යටතේ නැවුම් පොල් තෙල් නිෂ්පාදනය ආරම්භ කර ඒවා CPL ලාංඡනය සමඟ වෙළඳ පොළට නිකුත් කිරීම දැන් සිදු කෙරෙන අතර ඉදිරියේදී ක්‍රමවත්ව වැඩි නිෂ්පාදන තොග වෙළඳ පොළට නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් එමඟින් පාරිභෝගිකයාට අඩු මිලකට පිරිසිදු අමිශ්‍ර පොල් තෙල් ලබා ගැනීමට අවස්ථාව උදා වෙන බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya