අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 සැප්තැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක‍්‍රියාකාරිත්වය

    නොවැම්බර් 13, 2014

    2014 සැප්තැම්බර් මාසයේ දී විදේශීය වෙළෙඳ කටයුතු වර්ධනය වීමත් සමඟ විදේශීය අංශයේ වර්ධනය තිරසාර ලෙස අඛණ්ඩව පවත්වා ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


    2014 ජූලි මාසයේ සිට වර්ධනය වූ ආනයන වියදම්, ආයෝජන භාණ්ඩ ආනයනයෙහි ඉහළ යාම පිළිබිඹු කරමින් තවදුරටත් ඉහළ ගියේය. සමුච්චිත ආනයන වියදම්වලට වඩා සමුච්චිතඅපනයන ආදායම් ඉහළ යාම ගෙවුම් තුලනයේ ජංගම ගිණුම වර්ධනය කරමින් 2014 වසරේ පළමු මාස නවය තුළ දී වෙළෙඳ හිඟය අඩු වීමට හේතු විය. සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණ මඟින් විදේශීය ජංගම ගිණුම වෙත ස්ථාවර ලැබීම් ප‍්‍රමාණයක් අඛණ්ඩව පවත්වා ගනු ලැබිණි. 2014 සැප්තැම්බර් මාසය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් සහ කොටස් වෙළෙඳපොළවල වූ ඇතැම් විචලනයන් හමුවේ වුවද ගෙවුම් තුලනය අඛණ්ඩව ශක්තිමත් කරමින් රජය වෙත වූ ව්‍යාපෘති ණය සහ බැංකු අංශය වෙත වූ ලැබීම් ලෙස මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් තුළින් 2014 වසරේ පළමු මාස නවය තුළ දී ගෙවුම් තුලනයෙහි හිතකර අතිරික්තයක් වාර්තා වූ බව ද මහ බැංකුව සඳහන් කළේය.

    අපනයන ක‍්‍රියාකාරිත්වය දෙස බැලීමේදී 2014 සැප්තැම්බර් මාසයේ දී අපනයන ආදායම පසුගිය වසරේ අනුරූප කාලපරිච්ජේදයට සාපේක්ෂව, එ.ජ.ඩොලර් මිලියන 903ක් දක්වා  0.5%කින් වර්ධනය වූ අතර 2014 වසරේ පළමු මාස නවය තුළ දී සමුච්චිත අපනයන ආදායම එ.ජ. ඩොලර් මිලියන 8,288ක් දක්වා 13%කින් වර්ධනය විය.

    2014 සැප්තැම්බර් මාසයේ දී අපනයන ආදායමේ වර්ධනය සඳහා විශාලතම දායකත්වය රෙදිපිළි හා ඇඟළුම් අපනයනයන්ගෙන් ලැබුණු අතර අනතුරුව පොල් නිෂ්පාදන සහ මුද්‍රණ කර්මාන්තය ආශ‍්‍රිත නිෂ්පාදිත ඒ සඳහා දායක විය. රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 2014 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.4කින් වර්ධනය වූ අතර සාමාන්‍ය ඇඟලුම් අපනයනයෙහි වූ සැලකිය යුතු වර්ධනය ඒ සඳහා හේතු විය. පොල් අපනයන ආදායම වර්ධනය වීම සඳහා පොල් මද නිෂ්පාදිත අපනයන සැලකිය යුතු ලෙස වර්ධනය වීම හේතු විය. එසේ වුවද, මෙම මාසය තුළ දී තේ, කුළුබඩු, වටිනා ලෝහ, මැණික් හා දියමන්ති වැනි ඇතැම් ප‍්‍රධාන අපනයනයන් පෙර වසරේ අනුරූප කාලයට සාපේක්ෂව අඩු වූ අතර, මෙම අපනයන කාණ්ඩයන් සඳහා 2013 සැප්තැම්බර් මාසයේ දී ඉහළ අපනයන ආදායමක් පැවතීම මේ සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු විය. විශේෂයෙන් නැව් හා ගුවන් යානා ඉන්ධන ඇතුළත් ඛනිජ තෙල් නිෂ්පාදිත අපනයන ආදායම අඩුවීම කෙරෙහි කලාපීය තරගකරුවන්ගෙන් පැවති ඉහළ තරගකාරිත්වය හේතු විය.

    2014 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ දී ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඉන්දියාව සහ ජර්මනිය යන රටවල් ප‍්‍රධාන අපනයන ගමනාන්තයන් වූ අතර එම රටවල් වෙත සිදු කළ අපනයනවල වටිනාකම මුළු අපනයනයන්ගෙන් සියයට 50ක් පමණ විය.

    ආනයන ක‍්‍රියාකාරිත්වය දෙස බැලීමේදී 2014 සැප්තැම්බර් මාසයේ දී ආනයන සඳහා වූ වියදම එ.ජ.ඩොලර් මිලියන 1,667ක් දක්වා සියයට 12.2කින් වර්ධනය වූ අතර, සමුච්චිත වශයෙන් සැලකූ විට 2014 වසරේ පළමු මාස නවය තුළ දී ආනයන වියදම එ.ජ.ඩොලර් මිලියන 14,222ක් දක්වා සියයට 5.4කින් වර්ධනය විය.

    2014 සැප්තැම්බර් මාසයේ ආනයන වියදමෙහි වර්ධනය සඳහා විශේෂයෙන්ම කැනීම් කටයුතු සිදු කරන යාත‍්‍රාවක් ඇතුළත් වූ ප‍්‍රවාහන උපකරණ ආනයන ප‍්‍රධාන වශයෙන් හේතු වූ අතර, අනතුරුව යතුරුපැදි හා මෝටර් රථ වැනි පෞද්ගලික පරිහරණය සඳහා වූ රථවාහන ආනයන වියදමෙහි වූ කැපී පෙනෙන වර්ධනය හේතු විය. තවද, වසර තුළ දී දේශීය සහල් නිෂ්පාදනය අඩු මට්ටමක පැවතීම හේතුවෙන් මෙම මාසය තුළ දී සහල් ආනයනය ද සැලකිය යුතු ලෙස වර්ධනය විය.

    කෙසේ වුවද, ඉන්ධන ආනයනය සඳහා වූ වියදම මෙම මාසය තුළ දී සැලකිය යුතු ලෙස අඩු වූ අතර, පිරිපහදු කටයුතු සඳහා පැවති බොරතෙල් තොග භාවිතයට ගැනීම හේතුවෙන් බොරතෙල් ආනයනය අඩු වීම මේ සඳහා හේතු විය. පොහොර ආනයන පරිමාව සැලකිය යුතු ලෙස අඩු වීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම මාසය තුළ දී පොහොර ආනයන වියදම අඩු විය. ඉංජිනේරු උපකරණ ආනයනය පහත වැටීම හේතුවෙන් යන්ත‍්‍රසූත‍්‍ර හා උපකරණ ආනයන වියදම අඩු මට්ටමක පැවතිය ද ආයෝජන භාණ්ඩ මත වූ ආනයන වියදම සමස්තයක් ලෙස ඉහළ ගියේය.

    2014 වසරේ පළමු මාස නවය තුළ දී ඉන්දියාව, චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව සහ ජපානය යන රටවල් ප‍්‍රධාන ආනයන ප‍්‍රභවයන් වූ අතර මුළු ආනයනවලින් සියයට 60ක් පමණ මෙම රටවලින් සිදු  කරන ලදී.

    වෙළෙඳ ශේෂයේදී අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ යාම හේතුවෙන්, වෙළෙඳ හිඟය 2013 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ එ.ජ.ඩොලර් මිලියන 587ට සාපේක්ෂව 2014 සැප්තැම්බර් මාසයේ දී එ.ජ.ඩොලර් මිලියන 764ක් දක්වා පුළුල් විය. කෙසේ වුවද, සමුච්චිත වශයෙන් සැලකූ විට 2014 වසරේ පළමු මාස නවය තුළ දී වෙළෙඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ජේදයට සාපේක්ෂව සියයට 3.6කින් අඩු විය.

    සංචාරක ඉපැයුම් ද 2014 සැප්තැම්බර් මාසයේ දී සංචාරක පැමිණීම් 105,535ක ප‍්‍රමාණයක් සමඟින් 2013 අනුරූප කාලපරිච්ජේදය සමඟ සැසඳීමේ දී සියයට 16.8ක සතුටුදායක වර්ධනයක් අඛණ්ඩව වාර්තා කළේය. ඒ අනුව, 2014 වසරේ පළමු මාස නවය තුළ දී සංචාරක පැමිණීම් 2013 වසරේ අනුරූප කාලපරිච්ජේදයට සාපේක්ෂව සියයට 22.4ක වර්ධනයක් වාර්තා කළේය. 2014 සැප්තැම්බර් මාසයේ දී සංචාරක ඉපැයීම් 2013 සැප්තැම්බර් මාසයේ දී වූ එ.ජ.ඩොලර් මිලියන 122ට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 152ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. සංචාරක පැමිණීම් හි සැලකිය යුතු වර්ධනය මෙන් ම ඇස්තමේන්තුගත දෛනික සාමාන්‍ය වියදම ඉහළ යාම හේතුවෙන් 2014 වසරේ පළමු මාස නවය තුළ දී සමුච්චිත සංචාරක ඉපැයීම්, 2013 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වූ එ.ජ.ඩොලර් බිලියන 1.2 සිට එ.ජ.ඩොලර් බිලියන 1.6 දක්වා සියයට 31.4ක වර්ධනයක් පෙන්නුම් කළේය.

    විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණ 2014 සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණ, 2013 සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ එ.ජ.ඩොලර් මිලියන 558 සමඟ සැසඳීමේ දී එ.ජ.ඩොලර් මිලියන 575 දක්වා සියයට 3.1ක වර්ධනයක් වාර්තා කළේය. 2014 වසරේ පළමු මාස නවය තුළ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණයන්හි සමුච්චිත ලැබීම් එ.ජ.ඩොලර් මිලියන 5,090 ක් වූ අතර එය, 2013 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 9.1 ක වර්ධනයකි.

    මූල්‍ය ලැබීම් ද 2014 වසරේ පළමු මාස නවය සඳහා රජය විසින් ලබාගත් දිගුකාලීන ණය එ.ජ.ඩොලර් මිලියන 1,232 ක් වූ අතර එය 2013 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ සිට සියයට 5.‍7ක අඩු වීමකි. අගෝස්තු සහ සැප්තැම්බර් මාස තුළ දී රාජ්‍ය සුරැකුම්පත්වල පැවති ඇතැම් විදේශීය ආයෝජනවල ගලායාම හමුවේ වුවද, 2014 ජනවාරි මස සිට සැප්තැම්බර් මස අග දක්වා රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ ශුද්ධ ලැබීම් එ.ජ.ඩොලර් මිලියන 100ක් විය. මේ අතර, 2014 සැප්තැම්බර් මාසයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙහි වූ විදේශීය ආයෝජන ද එ.ජ.ඩොලර් මිලියන 9.5ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළ නමුත්, සමුච්චිත පදනම මත 2014 ඔක්තෝබර් මස අග වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන එ.ජ.ඩොලර් මිලියන 107ක් විය. තවද, 2014 වසරේ පළමු මාස නවය තුළ දී බලපත‍්‍රලාභී වාණිජ බැංකු සහ බලපත‍්‍රලාභී විශේෂිත බැංකු වෙත වූ ලැබීම් එ.ජ.ඩොලර් මිලියන 450ක් විය. මේ සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් 2014 සැප්තැම්බර් මස සිදු කරන ලද බැදුම්කර නිකුතුව මඟින් ලද එ.ජ.ඩොලර් මිලියන 250 ක ලැබීම් ද ඇතුළත් වේ.

    ගෙවුම් තුලනයේ සමස්ත තත්ත්වය ජංගම සහ ප‍්‍රාග්ධන ගිණුම් වෙත වූ අඛණ්ඩ ලැබීම් සමඟ, ගෙවුම් තුලනය 2013 වසරේ අනුරූප කාලපරිච්ජේදයේ දී වූ එ.ජ.ඩොලර් මිලියන 585ක අතිරික්තයට සාපේක්ෂව 2014 වසරේ පළමු මාස නවය තුළ දී එ.ජ.ඩොලර් මිලියන 1,996ක අතිරික්තයක් වාර්තා කර ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

    ජාත්‍යන්තර සංචිත ද එ.ජ.ඩොලර් මිලියන 1,886ක විදේශීය ණය සේවාකරණ ගෙවීම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්ථ ණය පහසුකම සඳහා වූ එ.ජ.ඩොලර් මිලියන 594ක ගෙවීම් පැවතීම හමුවේ වුවද, 2014 වසරේ සැප්තැම්බර් මස අවසානයේ දී ශ‍්‍රී ලංකාවේ දළ නිල සංචිත ප‍්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 8.8ක ඉහළ මට්ටමක පවත්වා ගැනුණි. මේ අතර, බැංකු අංශයේ විදේශීය වත්කම් ද ඇතුළත්ව මුළු විදේශීය වත්කම් ප‍්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 10.2ක් විය. ආනයනික මාස වශයෙන් සැලකූ විට 2014 වසරේ සැප්තැම්බර් මස අග වන විට දළ නිල සංචිත ආනයනික මාස 5.6කට සමාන වූ අතර, මුළු විදේශීය වත්කම් ආනයනික මාස 6.5කට සමාන විය.

    විනිමය අනුපාතිකයේ හැසිරීම ද 2014 නොවැම්බර් මස 3 දක්වා කාලපරිච්ඡේදය තුළ දී එ.ජ.ඩොලරයට එරෙහිව රුපියල සියයට 0.06ක ආන්තික අවප‍්‍රමාණයක් පමණක් වාර්තා කරමින් ස්ථාවරව පැවතුණි. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතික හැසිරීම මත පදනම්ව ශ‍්‍රී ලංකා රුපියල යූරෝවලට එරෙහිව සියයට 10.5කින් ද, ජපන් යෙන්වලට එරෙහිව සියයට 7.3කින් ද, ස්ටර්ලින් පවුමට එරෙහිව සියයට 3.2කින් ද, කැනේඩියානු ඩොලරයට එරෙහිව සියයට 5.9කින් ද, ඕස්ටේ‍්‍රලියානු ඩොලරයට එරෙහිව සියයට 2.2කින් සහ චීන රෙන්මින්බිවලට එරෙහිව සියයට 0.8කින් අධිප‍්‍රමාණය විය. මේ අතර, ශ‍්‍රී ලංකා රුපියල, ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 0.9කින් ද අවප‍්‍රමාණය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya