මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා සංඝරත්නයේ ඒකීය බව ආරක්ෂා කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ඒකීය බව ආරක්ෂා කර ගත හැකිය

    නොවැම්බර් 03, 2014
    මහා සංඝරත්නයේ ඒකීය බව ආරක්ෂා කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ඒකීය බව ආරක්ෂා 
    කර ගත හැකි යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා පවසයි. 
     
    දේශපාලනික හෝ සමාජීය හේතු මත මහා සංඝරත්නය ඒකීය නොවුණ හොත්, එය මෙරට ආරක්ෂාවට මෙන්ම පැවැත්මට බරපතළ අභියෝගයක් එල්ල කරනු ඇතැයි අග්‍රාමාත්‍යතුමා කීවේය.
     
    ඒ නිසා ශ්‍රී ලංකාව ආරක්ෂා කර ගැනීමට නම් මහා සංඝරත්නය ආරක්ෂා කර ගත යුතු යැයි පසුගියදා කතරගම, මයිලගම, උපාලි ධර්මාශ්‍රම විහාරස්ථානයේ නව දෙමහල් ධාතු මන්දිරය විවෘත කිරීම, වෙහෙර වහන්සේ වටා ඉදි කරන ලද ප්‍රකාරය විවෘත කිරීම සහ ස්වර්ණාලේපිත ධාතු කරඬුව තුළ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම නිමිත්තෙන් එම විහාරස්ථානයේ පැවැති පුණ්‍ය උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කීවේය.
     
    ගල්කිස්ස, ධර්මපාලාරාමය හා කතරගම උපාලි ධර්මාශ්‍රම විහාරාධිපති, පූජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිදු කරන ලද විවෘත කිරීම්වලින් අනතුරුව, උත්සව සභාව හමුවේ අග්‍රාමාත්‍යතුමා තවදුරටත් මෙසේ පැවසීය.
     
    වසර දෙදහස් පන්සිය පනහකට අධික කාලයක් තිස්සේ මෙම රට ආරක්ෂා වුණේ මහා සංඝරත්නය කරන ලද කැප කිරීම නිසයි. උන්වහන්සේලා නොවන්නට අද මේ රට ඒකීය දිවයිනක් වශයෙන් ආරක්ෂා වන්නේ නැහැ. එළාර, දාඨිය, පීඨීය ඇතුළු දමිළ පාලකයන් ද, චෝල, කාලිංග, මාග ආදී විදේශීය ආක්‍රමණිකයන් ද මැඬලීම සඳහා හෙළ රජ දරුවන්ට ශක්තිය, ධෛර්යය හා උපදෙස් ලබා දුන්නේ මහා සංඝරත්නයයි. තිස් වසරක් තිස්සේ පැවැති කුරිරු කොටි ත්‍රස්තවාදය මැඬලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද ලබා දුන්නේ ද මහා සංඝරත්නයයි.
     
    ඒ නිසා මහා සංඝරත්නය ආරක්ෂා කර ගැනීම මගින් මෙම රට අභ්‍යන්තර හා බාහිර වශයෙන් ආරක්ෂා කර ගත හැකි නමුත්, මහා සංඝරත්නය විවිධ හේතු මත බෙදීමට ලක්ව උන්වහන්සේලාගේ ඒකීය බවට බලපෑමක් ඇති වුවහොත් එය අප රටේ පැවැත්මට ද තර්ජනයක් වෙනවා.  ඒ නිසා නවදාස් දෙසීයක් පමණ වන විහාරස්ථානවල වැඩ වසන හතළිස් එක්දහසක් පමණ වන මහා සංඝරත්නය දිවි හිමියෙන් යුතුව ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමක් සහ යුතුකමක්.
     
    බෞද්ධ විහාරස්ථානයක දැකිය හැකි චෛත්‍යය, බුද්ධ මන්දිරය, බෝධීන් වහන්සේ ආදී අංග අලංකාරව තබා ගැනීම බෞද්ධයන් වන අපගේ යුතුකමක්.  මිහිදු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසු අප රට ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පරිවර්තනය වුණා. එදා සිට උසස් සභ්‍යත්වයක් ද අපට හිමි වූ අතර, අප ලෝකයේ උසස් ජාතියක් බවට පත් වුණේ බුදු දහමින් ලද ශික්ෂණය නිසයි. ඒ අනුව භාෂාව, ‍සංස්කෘතිය, ආගම ආදී සියල්ල ම සභ්‍යත්වයට පත්ව ආරක්ෂා වුණේ මහා සංඝරත්නය කළ කැප කිරීම නිසා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
     
    ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍යපාද දොඩම්පහල චන්ද්‍රසිරි නායක හිමිපාණන් වහන්සේ, අනුනායක පූජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස හිමි, තිස්ස මහාරාම රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද දේවාලේගම ධම්මසේන හිමි, කතරගම අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කපුගම සරණතිස්ස හිමි, පැල්මඩුල්ල ගනේගම රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පාතකඩ විමලරතන හිමි ප්‍රධාන මහා සංඝරත්නය ද, දෙහිවල - ගල්කිස්ස නියෝජ්‍ය නගරාධිපති කේසරලාල් ගුණසේකර මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya