අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ දශක තුනක යුද්ධය හා සුනාමියෙන් අරාජිකවී තිබූ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත් වෙහෙස, මෙතෙක් බලයට පැමිණි කිසිම නායකයෙකුට සමකළ නොහැකි බවයි.
වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත ක්‍රියාත්මක "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" වැඩසටහනේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ආසන නියෝජිත සම්මේලනයට සහභාගී වෙමිනි.
මෙම සම්මේලනය සඳහා කාන්තාවෝ 3000කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ අවසන් ආසන නියෝජිත සම්මේලනය ද වේ. අයගම ප්‍රාදේශීය සභා කාර්යාලයේ පැවති මෙම අවසන් කාන්තා සම්මේලනය අමතමින්, අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේද පැවසුවාය.
"තව සති කිහිපයකින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඒකෙදි නියත වශයෙන් ම නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහත්තයා පරාජය වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයයි, අපේ අතිගරු ජනාධිපතිතුමයි තමයි ඡන්දෙ ඉල්ලන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගමෙන් බිහිවුණ නායකයෙක් හැටියට එතුමා දන්නවා, මඩගොහොරුවල බැහැගෙන, සපත්තු දෙක අතේ අරගෙන පාසල් එන දරුවන්ගේ සිත්වල හැඟීම්. ඒ වගේ ම අයගම වගේ දුෂ්කර ප්‍රදේශයක කෙනෙක් අසනීප වුණා ම, ඉක්මණින් රත්නපුර රෝහලට ගෙනිහින් ජීවිතය බේරගන්න නම්, මාර්ග පද්ධතිය සංවර්ධනය වෙන්න ඕන කියලා අපේ
ජනාධිපතිතුමා දන්නවා. ඒ නිසයි එතුමා ග්‍රාමීය සංවර්ධනයට මුල් තැනක් දීලා කටයුතු කරන්නේ.
එදා ප්‍රේමදාස මහත්තයා කොටින්ට ආයුධ දුන්නා. බෝම්බ ලොරි ගණන් දුන්නා. සල්ලි දුන්නා. ඒත් රට පාවලා දුන්නේ නැහැ. ජේ.ආර්. මහත්තයා, චන්ද්‍රිකා මැතිනිය රට පාවලා දුන්නේ නැහැ. නමුත් රනිල් මහත්තයා, ප්රභාකරන් ළඟ දණින් වැටිලා, ලංකාවෙන් ¾ ක් ලිඛිත ව ම පවරලා දුන්නා. එදා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහලා, මිලේනියම් සිටි පිහිටලා තිබුණ අපේ බුද්ධි අංශය පිළිබඳ ව කරුණු හෙළි කරලා, බුද්ධි අංශ සාමාජිකයන් ව මරවලා දැම්මා. මහජනතාව සමූල ඝාතනයට ලක්කළා. පාසල් සිසුන් මරා දැම්මා. එහෙම තිබුණ රටක්, අපේ ජනාධිපතිතුමා 2005 බලයට ඇවිත් වසර 4ක් ඇතුළත යුද්ධය නිමා කරලා. වේගවත් සංවර්ධනයක් ඇති කළා.
මහින්දෝදය පාසල් පද්ධතියක් ඇති කළා. දුෂ්කර ගම්මානවලට පවා විදුලිය දුන්නා. විදුලි බිල 25%කින් අඩු කළා. අපි ඉදිරියටත් තවත් විදුලි සහන දෙනවා. අද දළ දේශීය නිෂ්පාදිතය ඉහළ අගයකට ඇවිත් තියෙනවා. ශක්තිමත් ආර්ථිකයක් ඇතිවෙලා.
නැවතත් අපේ රට ආපස්සට යාමට නොදිය යුතු බවත් අද අපේ රට ඉදිරියට යන ගමනටයෝධ සෙන්පතියෙක් ලැබී තිබෙන බවත් රට බාරදෙන්නේ රනිල්ට ද, එහෙමත් නැත්නම් අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටද යන්න තීරණය කළ යුතු යැයි ද අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා සහ මහරගම නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළු කාන්තාවෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
DB