මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ රටේ තියෙන ජනප‍්‍රිය ම වචන දෙක තමයි නැහැ බැහැ කියන එක

    ඔක්තෝබර් 17, 2014

    ආණ්ඩුවේ රස්සාවල් පිටුපස්සේ නොයා ස්වයංරැකියාවෙන් හොඳ ව්‍යාපාරිකයන් විය හැකි නිසා මේවායෙන් දියුණු වූ අය ගොඩක් ඉන්නා බවත් ලංකාවේ තියෙන ජනප‍්‍රිය ම වචන දෙක නැහැයි බැහැයි කියන එක බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 


    උනන්දුව ඇති වෙන්න නම් කවුරු හරි යමක් ආරම්භ කළ යුතුයි. ස්වයංරැකියාවලට කැමති අය සිටී නම් ඒ සඳහා පුහුණුව ලබා දෙන්න සූදානම් බවත් අමාත්‍යවරයා පැවසීය.

     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බේරුවල මාගල්කන්ද විහාරයේ පැවති ස්වයංරැකියා පුහුණුව අවසන් කළ පිරිසකට සහතිකපත් පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අනුග‍්‍රහයෙන් ධීවර කාන්තාවන් සඳහා ස්වයංරැකියා පුහුණුව ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළ යටතේ බේරුවල මාගල්කන්ද ප‍්‍රදේශයේ කාන්තාවන් 75කට පමණ ස්වයංරැකියා පුහුණුව ලබා දෙනු ලැබීය. මේ යටතේ කරවල වියලනය, ජාඩි කර්මාන්තය, විසිතුරු මත්ස්‍ය වගාව, මෝදා මත්ස්‍ය වගාව, යෝගට් කර්මාන්තය ආශ‍්‍රිත ව පුහුණුව ලබා දෙයි. මෙම කාන්තාවන්ට ස්වයංරැකියා සඳහා ණය ආධාර මෙන් ම උපකරණ ආදිය ද ලබා දෙනු ඇත.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. "බණ්ඩාරගම ආසනයේ 125දෙනෙකු මේ අයුරින් පුහුණු කළා. ප‍්‍රාදේශීය නායකයන් ද මේ වැඩපිළිවෙළ ගැන විශාල ලෙස සතුටට පත්වුණා. ඒ වගේ ම අපි ලංකාව පුරා ම ධීවර අමාත්‍යාංශය යටතේ ස්වයංරැකියා වැඩපිළිවෙළ ආරම්භ කර තියෙනවා. මේ වැඩපිළිවෙළ ධීවර කර්මාන්තයේ පමණක් නො ව අනෙකුත් අංශවලින් ද ආරම්භ කර තියෙනවා. මේ වැඩපිළිවෙළ දිස්ත‍්‍රික්කයෙන් දිස්ත‍්‍රික්කයට අරගෙන යනවා. 

    මේ වැඩපිළිවෙළ පිළිබඳ ව සතුටට පත්වෙලා ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ලංකාවට ම අවශ්‍ය කරන මුළු මුදල ම වෙන්කළා. මේ ස්වයංරැකියා වැඩසටහනට දැනටත් රුපියල් මිලියන 160ක් වැය කර තියෙනවා. 2013 වසරේ විසිතුරු මත්ස්‍ය අපනයනය අපේ රටේ බිලියනය පැන්නුවා. අද වැඩි ම අපනයනයට මාළු නිෂ්පාදනය කරන්නේ කළුතර දිස්ත‍්‍රික්කයෙන්. මේ පුහුණුවේදී නිෂ්පාදනය වගේ ම වෙළෙඳපොළට ගෙන යාම, බැංකු ණය ගන්න හැටි පුහුණු කරනවා. ඒ වගේ ම වෙළෙඳපොළට ඉදිරිපත් කළ යුතු ආකර්ෂණීය අන්දම, ආධාර ලබාගන්නා ආකාරය ගැනත්  කියාදෙනවා" යැයි පැවසීය.

     

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, අමාත්‍ය පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, අමාත්‍යාංශ ප‍්‍රධාන ගණකාධිකාරී ආර්.එස්. රාජපක්ෂ මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya