නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පදවිය, අභයපුරට ලක්ෂ 453ක සංවර්ධන ව්‍යාපෘති

    ඔක්තෝබර් 16, 2014

    පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අභයපුර ග්‍රාමසේවා වසමේ යටිතල පහසුකම් නැංවීම සඳහා රුපියල් ලක්ෂ 453ක සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරේ.


    ඉතිහාසයේ ප්‍රථම වරට මෙපමණ මුදලක් වැයකර මෙම ප්‍රදේශයේ ජල, විදුලි, මාර්ග වැනි පොදු පහසුකම් මෙන් ම ජීවන උපාය සංවර්ධනය සඳහා වන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම පසුගියදා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 


    ඒ අනුව අභයපුර ග්‍රාම නිලධාරි වසමට අයත් ගල්කුලම සිට මොනරගල විහාරස්ථානය දක්වා වන මාර්ගය පුරනැගුම වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 180ක වියදමින් කාපට් අතුරු නවීකරණය කිරීමේ කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. 


     
    එමෙන් ම පදවිය ගොවි ජනපදය ආරම්භ කළ දා පටන් මෙතෙක් කිසිදු ප්‍රතිසංස්කරණයකට කල් නො වූ ගල්කුලම අලුත්පාර අවශ්‍ය බෝක්කු දමා රුපියල් ලක්ෂ 15ක වියදමින් ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත්කිරීම ද එදින සිදු කෙරිණි.


     මේ අතර එක් කෝටි පන්ලක්ෂයක වියදමින් ඉදිකළ ඩී - 8 ගම්මානයේ නව විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කෙරුණු අතර ප්‍රදේශයේ පවුල් සියයකට පමණ ඉන් සෙත සැලසෙයි.


    මෙම සංවර්ධන යෝජනා ක්‍රම ජනතා අයිතියට පත් කරමින් අදහස් දැක් වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදිය යුතු බව අවධාරණය කළේය.


     පසුගිය ජනාධිපතිවරණයේ දී ජනපතිතුමන්ට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වැඩි ම ඡන්ද ප්‍රතිශතය මැදවච්චිය ආසනයෙන් ලබාදුන් බවත්, රටට සාමය උදාකර රට සංවර්ධනය කරමින් සිටින එතුමන් මෙවර ඊටත් වඩා වැඩි ප්‍රතිශතයකින් විජයග්‍රහණය කරවිය යුතු බවත්, ඒ සඳහා විශේෂයෙන් මේ රටේ කාන්තාවන් පෙළ ගැසී සිටින බවත්, අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.


     
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් කිසිදු භේදයකින් තොර ව රටේ සිව් දිශාවේ ම සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළත්, උතුරු පළාත් සභාව තවමත් කොටි ත්‍රස්තවාදීන්ගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කරන බවත්, ජනපතිතුමන් සිටින තුරු මේ රට දෙකඩ කිරීමට හෝ කිසිදු ජන කොටසකට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත්, අමාත්‍යවරයා අවධාරණය කළේය.


     එමෙන් ම අභයපුර ග්‍රාමසේවා වසමේ අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක වියදමින් දිවිනැගුම වැඩසටහන යටතේ වගා ළිං ව්‍යාපෘතියක් සහ රුපියල් ලක්ෂ 10ක වියදමින් සුරතල් මත්ස්‍ය  ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ද තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.


    ‘විදුලමු ලංකා’ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 74ක වියදමින් ඉදිකළ පදවිය ඩී - 9 ප්‍රදේශයේ නව විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීම ද එදින ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


     
    මෙම අවස්ථාවට පදවිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්ම ශ්‍රී සෝමතිලක මහතා ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් පැමිණ සිටියහ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya