මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‍දැන් ගමත් නගරයත් අතර අධ්‍යාපනයේ වෙනසක් නැහැ

    ඔක්තෝබර් 13, 2014
    ගමත් නගරයත් අතර ඇති අධ්‍යාපනික වෙනස නැති කිරීමට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සැමවිටම ක‍්‍රියාකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2015 දැයට කිරුළ ප‍්‍රදර්ශනයට සමගාමීව අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර සාමාන්‍ය පෙළ සිසු දරුවන් වෙනුවෙන් මහින්ද යාපා පදනම සංවිධානය කළ අධ්‍යාපනික සම්මන්ත‍්‍රණ මාලාවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම අධ්‍යාපනික සම්මන්ත‍්‍රණ මාලාව ඊයේ (12) පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා වැලිගම සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ දී සහ අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසලේදී පැවැත්විණි.
     
    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා ප‍්‍රකාශ කළේ මෙම සම්මන්ත‍්‍රණ මාලාව දිවයිනේ සිටින දක්ෂ ප‍්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන නිසා සිසු දරු දැරියන්ගේ දැනුම වර්ධනය කිරීමට මෙම අධ්‍යාපනික සම්මන්ත‍්‍රණ මාලාව ඉවහල් වන බවයි. සියලු පහසුකම් සහිත සුපිරි පාසල්වල අධ්‍යාපන ලැබීමට වරම් ලැබෙන්නේ කොළඹ දරුවන්ට පමණක්ය යන අදහස වෙනස් කිරීමට වත්මන් රජය සමත්විය. නගරයේ දරුවන්ට පමණක් නොව ගම්බද දරුවන්ට ද පහසුකම් සහිත අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව අතිගරු ජනාධිපතිතුමා විසින් සකස් කර ඇත. අපේ 
    දරුවන් විභාගය අසමත් වන්නේ දැනුම නැති නිසා නොව අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් ප‍්‍රමාණවත් නොවීම නිසාය. ගම්බද දරුවන් බොහෝ දෙනෙක් ගණිතය, ඉංග‍්‍රීසි වැනි විෂයන් අසමත් වීමට හේතුව ඒ සඳහා සුදුසුකම්ලත් ගුරුවරුන් නොසිටීමයි. විභාගයට පෙනීසිටින දරුවන් එම විභාගයෙන් එකවර සමත් වීමට අධිෂ්ඨාන කර ගත යුතුය. 
     
    දෙවරක් විභාගයට පෙනීසිටීම යනු ඒ සඳහා අනවශ්‍ය කාලයක් ගතවීමයි. අප මෙවැනි අධ්‍යාපනික සම්මන්ත‍්‍රණ පැවැත්වීමෙන් අපේක්ෂා කරන්නේ විභාගයට පෙනී සිටින දරුවන්ට ප‍්‍රයෝජනවත් වන ආකාරයෙන් ඔවුනට අවශ්‍ය නිසි මඟපෙන්වීමක් සිදු කිරීමයි. වෙනස්වන ලෝකයට සාපේක්ෂව රටේ අධ්‍යාපන ක‍්‍රමය තුළ විවිධ වෙනස්කම් සිදුවිය යුතුය. ඒ අනුව මෑත කාලීනව උසස්පෙළ විෂය ධාරාවට තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දෙන ලදී. නව විෂය ධාරාව හැදෑරීමට අවශ්‍ය පහසුකම් ඇති කිරීමටත් අතිගරු ජනාධිපතිතුමා පියවර ගත්තේය. මේ වන විට එම විෂය ධාරාව හැදෑරීමට සිසුන් අතර දැඩි උනන්දුවක් ඇති වී තිබේ. රටේ අනාගත පරපුර උගත්, බුද්ධිමත් දරු පිරිසක් බවට පත් කිරීමට මෙම අධ්‍යාපන සම්මන්ත‍්‍රණ මාලාව දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කරන බව ද අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya