මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සංගමයෙන් ධීවර කර්මාන්තයට කොන්දේසි 72ක් යන ප‍්‍රවෘත්තිය අසත්‍යයි

    ඔක්තෝබර් 13, 2014
    යුරෝපා සංගමයෙන් ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට කොන්දේසි 72ක් දමා ඇති බවත් අපගේ මත්ස්‍ය අපනයනක් තහනම් කිරීමට යන බවත් සඳහන් කරමින් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී දක්වන ලද අසත්‍ය ප‍්‍රකාශ අඩංගු ප‍්‍රවෘත්ති වාර්තා පසුගියදා පුවත්පත් කීපයක පළවී තිබුණි. එහි සඳහන් වන ආකාරයට යුරෝපා සංගමයෙන් ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට කොන්දේසි 72ක් දමා තිබෙන බව සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
     
    සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සංවිධානයක් වේ. ඔවුන් කිසි දිනෙක ධීවර අමාත්‍යාංශයේ හෝ රජයේ හොඳක් නොදකින පිරිසක් බව ගෙවී ගිය කාලය තුළ ඔවුන් නිකුත් කර තිබෙන ප‍්‍රවෘත්ති නිවේදන හා පවත්වන ලද ප‍්‍රවෘත්ති සාකච්ඡාවලින් ඉතාමත් පැහැදිලි වේ.
     
    යුරෝපා සංගමය අපේ රටේ ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් කොන්දේසි 72ක් පනවා ඇති බව ඔවුන් සඳහන් කරන්නේ යුරෝපා සංගමය ඉංග‍්‍රීසියෙන් නිකුත් කරන ලද නිවේදනය හරි හැටි වටහා ගැනීමට තරම් දැනුමක් නොමැති නිසාය. එකී ලියැවිල්ලේ තිබෙන්නේ පරිච්ඡේද 72කි. එහි සඳහන් වන්නේ මේ පිළිබඳ ඉතිහාසය ගැනය. එහි පරිච්ඡේද 72 කොන්දේසි ලෙස වටහා ගැනීම නිසා මේ ආකාරයට වැරදි තොරතුරු ඉදිරිපත් කරන බව පෙනේ. කොන්දේසි 72ක් නොමැත. එහි සඳහන් වන්නේ කොන්දේසි කීපයක් පමණි.
     
    එසේම එකී ප‍්‍රවෘත්තියේ සඳහන් වන පරිදි "යුරෝපා සංගමය කියන්නේ නීතිවිරෝධී ලෙස පන්නවලින් මාළු අල්ලන්න එපා කියලයි" යන්න ද අසත්‍ය පුවතකි. යුරෝපා සංගමය සඳහන් කරන්නේ නීතිවිරෝධී පන්නවලින් මාළු අල්ලන්න එපා කියල නොව වෙනත් රටවල්වල අනන්‍ය ආර්ථික කලාපයන් උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන්න එපා කියලයි. එනම් අපේ ධීවර යාත‍්‍රා ඉන්දියාව, අන්දමන් දුපත්, දියාගෝ ග‍්‍රාසිය, සීෂෙල්ස්, මියැන්මාර්, ඇතුළු රටවල්වල අනන්‍ය ආර්ථික කලාපයන්ට ඇතුළු වෙලා මත්ස්‍ය කර්මාන්තයේ යෙදිල අත් අඩංගුවට පත්වීම නිසා අපේ රටට අපකීර්තියක් ඇති වෙලා තියෙනවා. මේ ගැනවත් වටහාගන්නට නොහැකි මෙවැනි ධීවර සංවිධානවල නායකයන් ගැන ධීවර ජනතාව හොඳින් වටහා ගත යුතුයි.
     
    එසේම චීන යාත‍්‍රා 8ක් ශ‍්‍රී ලංකාවේ ජාතික ධජය යටතේ ජාත්‍යන්තර මුහුදේ සීමාවන් උල්ලංඝනය කරමින් මාළු අල්ලනවා යැයි පැවසීම ද සම්පූර්ණයෙන් ම අසත්‍යයකි.
     
    ශ‍්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩල නීතිරීතිවලට අනුව චීන ශ‍්‍රී ලංකා ඒකාබද්ධ සමාගමක් මඟින් ජාත්‍යන්තර මුහුදේ ශ‍්‍රී ලංකා කොඩිය සහිත ව මාළු අල්ලන බව සත්‍යයි. එය ශ‍්‍රී ලාංකීය සමාගමක් නිසා අපේ කොඩිය සහිතව මත්ස්‍ය කර්මාන්තයේ යෙදේ. එය චීනයේ සමාගමක් වූයේ නම් හෝ ඒවා චීන යාත‍්‍රා වූයේ නම් අපේ කොඩිය ගසා මාළු අල්ලන්නේ නැති බවත් මෙම පුද්ගලයන්ට නොවැටහීම කණගාටුවට කරුණකි.
     
    මෙම ශ‍්‍රී ලංකා චීන ඒකාබද්ධ හවුල් ව්‍යාපාරික සමාගම ශ‍්‍රී ලාංකීය සමාගමක් නිසා එකී යාත‍්‍රාවල අපේ සිංහ කොඩිය සහිතව ජාත්‍යන්තර මුහුදේ පමණක් මත්ස්‍ය කර්මාන්තයේ යෙදේ. එකී යාත‍්‍රා කිසිදු මොහොතක ජාත්‍යන්තර මුහුදු සීමාවන් උල්ලංඝනය කර නොමැත. එම නිසා එකී යාත‍්‍රාවන් මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ IUU චෝදනාවන්ට ලක් වී නොමැත. එසේම අත් අඩංගුවට පත්වී ද නොමැත. ගෙවීගිය කාලය තුළ මුහුදු සීමා උල්ලංඝනය කිරීම නිසා IUU චෝදනාවලට ලක්ව අත් අඩංගුවට පත්ව ඇත්තේ ශ‍්‍රී ලාංකීය ධීවරයන් සහිත ශ‍්‍රී ලාංකීය යාත‍්‍රා බව වගකීමෙන් යුතුව පැවසිය යුතුය. මේ නිසා ශ‍්‍රී ලංකාවට විශාල අපකීර්තියක් සිදු වී තිබෙන බව මෙම පුවත්පත් සාකච්ඡා පවත්වන වෘත්තීය සමිතියට අමතක වී තිබීම කණගාටුවට කරුණකි.
     
    යාත‍්‍රා සුපරීක්‍ෂණ පද්ධතියක් හෙවත් VMS පද්ධතියක් පිළිබඳ ව යුරෝපා සංගමය යෝජනා කරන්නේ 2012 වසරේදීය. නමුත් අප VMS පද්ධතියක් මෙරට යාත‍්‍රාවන් සඳහා ඇති කිරීමට පියවර ගන්නේ 2010 වසරේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ මගපෙන්වීම යටතේය. ගෙවීගිය කාලය තුළ එහි කටයුතු සම්පූර්ණයෙන් ම නිමාකර ඇති අතර ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවූයේ ශ‍්‍රී ලංකාවේ පවතින නීතිරීති, ටෙන්ඩර් ක‍්‍රමවේද ප‍්‍රසම්පාදන හා සැලසුම් ක‍්‍රමවේද නිසාය. එසේම අමාත්‍ය මණ්ඩලය, නීතිපති දෙපාර්තමේන්තුව, ප‍්‍රසම්පාදන කමිටුවල අනුමැතිය ගත යුතුය. මේ වන විට ඒ සියල්ල නිම කර ඇත. එබැවින් මෙම VMS පද්ධතිය ඉදිරි කාලය තුළ ශ‍්‍රී ලංකා යාත‍්‍රා සඳහා හඳුන්වාදීමට පුළුවන.
     
    මේ වන විට ධීවර කාර්මිකයන් ආදායම් බද්දෙන් සම්පූර්ණයෙන් ම නිදහස් කර ඇත. එසේම ධීවර ආම්පන්න බද්ධ ඉවත් කර ඇත. ඒ වගේම මත්ස්‍ය ඇම සඳහා බදු 15% දක්වා අඩුකර ඇත. එසේම යාත‍්‍රා එන්ජින් මිල රුපියල් 30,000 සිට රු.40,000කින් පමණ අඩුකර ඇත. එසේම ධීවරයන් උදෙසා 6% හා 8% දක්වා වන අඩු පොලියට දියවර දිරිය ණය ලබාදීමට පියවර ගෙන තිබේ. මේ සියල්ලම නොදැක්ක අන්ධයන් මෙන් මෙම සංවිධානයේ පුද්ගලයන් අඳුරේ අතපත ගාන්නන් බව මුළු රටම දනී.
     
    අමාත්‍යතුමා විදේශගත වීම පිළිබඳව ද මෙම සංවිධානය දැඩි ඊර්ෂ්‍යාවකින් යුතු ව අදහස් දක්වා තිබේ. නමුත් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ හැම විටම විදේශගත වී ඇත්තේ මෙරට ධීවර සංවර්ධනය උදෙසාය. එතුමා 2010 අමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ඉන්දියානු සාගර ටුනා කොමිසම, එක්සත් ජාතින්ගේ ජලජීවී වගා වැඩ පිළිවෙල, ධීවර කමිටුව ආදී ජාත්‍යන්තර සංවිධානවල ජාත්‍යන්තර සැසිවාරවලට සහභාගි වීම සඳහාත්, විවිධ රටවල්වලින් මෙරට ධීවර සංවර්ධනයට උදව් උපකාර ලබාගැනීමටත් විදේශගත විය. මේ නිසා අපේ රටේ ධීවර කර්මාන්තය ගැන ජාත්‍යන්තරයේ තිබූ වැරදි වැටහිම් දුරු කිරීමට හේතු වූවා සේම අපගේ රටේ ධීවර වැඩ කටයුතු නීත්‍යානුකූල හා සැලසුම් සහගත භාවයකට පත්කර ගැනීමට හැකි විය.
     
    මේ නිසා ම 2013 වසරේ අපේ‍්‍රල් EU කොමිසම් සභා වාර්තාවේ ශ‍්‍රී ලංකාවේ ධීවර කටයුතු ප‍්‍රගතිදායක මට්ටම පවතින බව සඳහන් වීම අප රට ලද ජයග‍්‍රහණයකි.
     
    මේ ප‍්‍රශස්ත තත්ත්වය නිසා ම ඉන්දියානු සාගර ටූනා කොමිසමේ IOTC ජාත්‍යන්තර සැසිවාර 2ක් අප රටේ පැවැත්වුණි. එසේම එහි නීතිරීති පිළිපදින රටවල් අතර අප ඉදිරියෙන් ම සිටින අතර එහි ප‍්‍රගතිදායකත්වය 51%ක් ලෙස වාර්තා විය. එසේම IOTC හි ජාත්‍යන්තර අනුකූලතා කමිටුවේ උප සභාපතිධූරයත් අපට හිමිවන්නේ ද අපේ රටේ ධීවර කර්මාන්තයේ ප‍්‍රගතිදායක තත්ත්වය නිසාමය. එසේම ලෝක ආහාර හා කෘෂිකර්ම FAO සංවිධානයේ ධීවර කර්මාන්ත කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙස ඇමරිකාව සමඟ ඇතුළත් වූ රටවල් 5ක් එක ම ආසියාතික රට වූයේද අපේ රටයි. එසේම FAO හි ධීවර කමිටුවේ ප‍්‍රශංසාවද අපේ රටට හිමි වූ අතර අපේ ධීවර කර්මාන්තයේ සංවර්ධනයට සුවිසල් සහයෝගයක් ඔවුන්ගෙන් ලැබේ.
     
    අප ගෙවී ගිය කාලය තුළ ධීවර කර්මාන්තය වෙනුවෙන් කළ මෙහෙවර මෙරට ධීවරයා හොඳින් දනී. එසේම මෙම සංවිධානයේ පුද්ගලයන් කිසිදු දෙයකින් සෑහීමකට පත් නොවන, වෛරී දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන්නන් බව මෙරට පොදු ජනතාවම දනී.
     
    මෙරටේ මත්ස්‍ය අස්වැන්න ගෙවී ගිය කාලය තුළ ක‍්‍රමානුකූලව වැඩි වූයේ රජය ධීවර සංවර්ධනයට කරන ලද මෙහෙවර නිසා බව බුද්ධියක් ඇති  ඕනෑම අයෙකු දන්නා කරුණකි. 2009 වසරේදී මෙරට සමස්ත මත්ස්‍ය අස්වැන්න මෙට්රික් ටොන් 339,730ක් වූ අතර එය 2013 දෙසැම්බර් වන විට මෙට්රික් ටොන් 512,840ක් දක්වා 51%කින් පමණ වැඩි වී තිබේ. එසේම 2010දී අප මත්ස්‍ය අපනයනයෙන් ලද ආදායම රුපියල් මිලියන 19,834ක් වූ අතර එය 2013 වන විට රුපියල් මිලියන 31,792ක් දක්වා 56%කින් පමණ වැඩි වී තිබේ. එසේම 2009දී මෙරට ඒක පුද්ගල දෛනික මත්ස්‍ය පරිභෝජනය ග‍්‍රෑම් 28එක් වූ අතර එය 2013 වන විට ග‍්‍රෑම් 41.3 දක්වා 50%කින් පමණ වැඩි වී ඇත. එමෙන්ම ගෙවී ගිය කාලය තුළ මෙරට යාත‍්‍රා සංඛ්‍යාව මෙන්ම ධීවරයන්ගේ සංඛ්‍යාව ද වැඩි වී තිබේ. මෙරට ධීවර සංවර්ධනයට මෙම සංඛ්‍යාලේඛන හොඳම සාක්‍ෂි වුවද මෙම වෛරී සංවිධානවලට මේවා නොපෙනෙන්නේ කවදාවත් බලයට පත්නොවීම හේතුවෙන් ඇති දේශපාලන කුහකකම නිසාය.
     
    සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ දේශපාලකයන්ට යුරෝපීය කොමිසමෙන් නිකුත් කළ ඉංග‍්‍රීසි ප‍්‍රකාශනය හරි හැටි අවබෝධ කර ගැනීමට නොහැකි වීමේ තත්ත්වය මෙන්ම, දේශපාලන කුහකකමේ තරම ඔවුන්ගේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී දැක්වූ අදහස්වලින්ම පැහැදිලි වේ. නමුත් ඔවුන්ට මෙරට බුද්ධිමත් ධීවරයන් හා පොදු මහජනතාව හැමදාම රැවටීමට නොහැකි බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya