නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු පහසුකම් ජනාවාස දරුවන්ගේ අභියෝග ජය ගැනීමට “ කොළඹ ළමයි ” වැඩසටහන මනා ශක්තියක්

    ඔක්තෝබර් 05, 2014
    රටේ විශිෂ්ටතම රඟහල වන නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල කොළඹ අඩු පහසුකම් දරුවන්ගේ වේදිකාව බවට අද පත් වූ බවත් එම දරුවන්ට ඔවුන්ගේ ඉදිරි අභියෝග ජය ගැනීමට ඒ සතුට ම ප්‍රමාණවත් වනු ඇති බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 
     
    "අපි මේ කොළඹ දරුවන්ට මහා ආත්ම විශ්වාසයක් ලබා දුන්නා. ඒ තමයි ඔවුන්ට කළ නොහැක්කක් නොමැත කියන මානසිකත්වය නිර්මාණය කිරීම. ඔබට ඕනෑ ම අභියෝගයක් ජයගන්න පුළුවන්. දිළිඳුකමේ අභියෝගය පමණක් නොවෙයි හැකියාවන්ගේ අභියෝගයත් ඔබට ජයගන්න පුළුවන් කියන විශ්වාසය අපි ඇති කළා යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ “ කොළඹ ළමයි ” 2014 විවිධ ප්‍රසංගයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊයේ (04) දින සහභාගි වෙමිනි.
     
    ඔක්තෝබර් 6 වන දිනට යෙදෙන ලෝක ජනාවාස දිනයට සමඟාමීව පැවති මෙම විවිධ ප්‍රසංගය කොළඹ 07 ‍නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණ.
     
    "මීට අවුරුදු 03 කට පෙර කොළඹ ළමයි එක්ක මේ සංස්කෘතික ගනුදෙනුව පටන්ගන්න විට කොළඹ ළමයින්ගේ එතරම් උනන්දුවක් මේ සම්බන්ධයෙන් තිබු‍ණේ නැහැ. කොළඹ ළමයින්ගෙ විතරක් නෙමෙයි කොළඹ අම්මලා තාත්තලාගෙත් එතරම් උනන්දුවක් තිබුණේ නැහැ. ඉතා අමාරුවෙන් ආරම්භ කළ මේ ව්‍යායාමය 2014 වර්ෂය වන විට කොළඹ දරුවන්ගේ අභිමානය හා පෞරුෂය ඉහළ නංවන සජීවී අත්දැකීමක් බවට පත් වී තිබෙනවා".
     
    "අඩු පහසුකම් ජනතාවට නිවාස 60,000ක් කොළඹ නගරයේ ඉදිවෙනවා. ඒ භෞතික වෙනසට සමඟාමී ව සංස්කෘතික වෙනස සිදු කළ යුතුයි. ඔවුන්ගේ ජීවන තත්ත්වය වෙනස් සිදු කළ යුතුයි. ඒ සඳහා තමයි නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මේ මහන්සි වී තිබෙන්නේ. මේක දරුවන් 20,000කට වැඩි පිරිසක් සමග කළ ගනුදෙනුවක ප්‍රතිථලයක්. ඒ වගේ ම මේ වර්ෂයේ මාර්තු මාසයේ සිට මහා පුහුණුවීම් සහිත ව ක්‍රියාත්මක කළ මහා මෙහෙයුමක අවසන් ප්‍රතිඵලයක්". 
     
    "නන්දා මාලනියගේ යෝධ ප්‍රතිභාපූර්ණ කටහඬ නිර්මාණය වුණේ මේ නාගරික පරිසරය මැද්දේ. ඒ වගේ ම විවිධ ප්‍රතිභාපූර්ණ කලාකරුවන් රැසක් මේ අඩු පහසුකම් ජනාවාස තුළින් අතීතයේ දී නිර්මාණය වුණා. 
     
    ඒක අතීතයට පමණක් උරුම වෙන්න දෙන්නෙ නැති ව මේ දරුවන්ගේ හඬ, මොවුන්ගේ හැකියාව ජාතියේ ඕනෑ ම වේදිකාවකට ගෙනියන්න පුළුවන් හැකියාවක් කිරීමයි අපේ අරමුණ" යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රකාර ව ජන සෙවණ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමී ව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක “ ජන සෙවණ ” ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහන මගින් මෙම විවිධ ප්‍රසංගය සංවිධානය කර තිබිණ.
     
    නාගරික ජනාවාස ආශ්‍රිතව ජීවත්වන දරු දැරියන්ගේ කලා කුසලතා ඔප්නැංවීම මෙහි අරමුණයි.  ඒ අනුව උතුරු කොළඹ, නැගෙනහිර බටහිර කොළඹ, මැද කොළඹ හා බොරැල්ල යන කලාප හතරට අයත් දරු දැරියෝ 2000 කට අධික පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
     
    මෙම විවිධ ප්‍රසංගයේ සුවිශේෂී සංස්කෘතිකාංග කිහිපයක් ඔක්තෝබර් 06 වන දින පැවැත්වෙන ජනාවාස දින ජාතික සමුළුවේදී ද වේදිකාගත කිරීමට නියමිතය.
     
    කොළඹ අඩු පහසුකම් නාගරික ජනාවාස දරු දැරියන් 2000 කට අධික සංඛ්‍යාවක් විවිධ ප්‍රසංගයක් සඳහා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලට මෙසේ එක් රොක් වන්නේ ප්‍රථම වරට වීම විශේෂත්වයකි.මේ අවස්ථාවේදී මෙම විවිධ ප්‍රසංගයට විශේෂ ආරාධිතයා වශයෙන් සහභාගි වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ රුව සහිත සිතුවමක් කොළඹ ළමයි සිතුවම් දැක්මේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් විසින් ඒ මොහොතේ ම සිතුවම් කර එතුමාට පිරිනමන ලදී.
     
    මෙහිදී අදහස් දැක්වූ පණ්ඩිත් අමරදේවයන් ප්‍රකාශ කර සිටියේ ජනාවාස දරු දැරියන්ගේ නිර්මාණ කුසලතා එළිදැක්වීම සඳහා සංවිධානය කෙරුණු “කොළඹ ළමයි” විවිධ ප්‍රසංගය මනා සැලසුම් සහගත ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මෙහෙයවා ඇති බවය. එය එම දරුවන්ගේ කලා කුසලතා ඉහළ නැංවීම සඳහා විශාල අඩිතාලමක් වන බවද ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් මෙහිදී ප්‍රකාශ කළේය.
     
    මෙම අවස්ථාවට කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, මහරගම නාගරික මන්ත්‍රී තිලක් වීරසිංහ, මොරටුව නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස හා සංවර්ධන) කේ.ඒ. තිලකරත්න, නාගරික ජනාවාස සංවර්ධන අධීකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරු, කලාකරුවෝ, දරුදැරියෝ, දෙමව්පියෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 
     
    DB
     
    KOLABA lamai 1
     
     
    KOLABA lamai 2
     
    KOLABA lamai 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya