නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජ කාලයේ සිට වෘත්තීය අධ්‍යාපනය කුල ධූරාවලියක් තුළ හිර කර තිබුණා

    ඔක්තෝබර් 01, 2014
    රජ කාලයේ සිට වෘත්තීය අධ්‍යාපනය කුල ධූරාවලියක් තුළ හිර කර තිබුණ බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.  
     
    මුහුදු යන්න  ඕනෑ මේ කුලය, ස්වර්ණාභරණ හදන්න ඕනෑ මේ කුලය, සෞන්දර්ය වැඩ කරන්න ඕනෑ මේ කුලය ආදී වශයෙන් වෘත්තීන් විවිධ කුලවලට වෙන් කර තිබුණා. පාසල් පද්ධතිය තුළ කාර්මික අධ්‍යාපනයට තැනක් තිබුණේ නැහැ. උසස් පෙළට තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දීම තුළින් මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට සිය ආධුනිකත්ව පුහුණුව සඳහා සහය දෙන බදුල්ල හා මොනරාගල දිස්ත‍්‍රික්කවල ආයතන ප‍්‍රධානීන්ගේ හමුවේදී පසුගියදා අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
     
    බදුල්ල රජ වීදියේ රිවර් සයිඩ් හෝටලයේ පැවති මෙම හමුවේදී අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය. "මෙම වැඩපිළිවෙළ මේ රටේ නිපුණතා සංවර්ධනය වෙනුවෙන් දියත් කර තිබෙන වැඩ පිළිවෙළවල් අතර තවත් එක් පියවරක් පමණයි. ලෝකයේ නැගිටපු සෑම රටක් ම නැගිට තිබෙන්නේ නිපුණතා සංවර්ධනය වැඩිදියුණු කිරීමෙන් පමණයි. ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, කොරියාව, චීනය, ඉතාලිය, වගේ රටවල් නිපුණතා සංවර්ධනය ජාතික සැලැස්මකට අනුව දිගු කලක සිට සිදු කරමින් සිටිනවා. 
     
    නිදහසින් පසු අපේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව එන තෙක් කිසිදු රජයක් කාර්මික අධ්‍යාපනයට සැලකිල්ලක් දැක්වූයේ නැහැ. නිල් පාට, කොළ පාට, රතු පාට, සෑම ආණ්ඩුවක් ම වෘත්තීය අධ්‍යාපනය නොසලකා හැරියා. මේ ආණ්ඩු අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත්තේ විශ්වවිද්‍යාලයට යන දරුවන් පිළිබඳ හිතලයි. 340,000ක් දරුවන් සෑම වසරක ම 1 ශ්‍රේණියට බාර දෙන විට විශ්වවිද්‍යාලයට යන්නේ 22,000ක් පමණයි. අ.පො.ස උසස් පෙළ දක්වා ගොස් නතර වන කාණ්ඩයට 1,70,000ක් පමණ අයත් වෙනවා. ජාතියක් ලෙස අපිට ඉතුරු 1,30,000 පිළිබඳ ව තිබුණේ ඉතා අඩු තක්සේරුවක්. මේ අයට තිබුණ එකම විකල්පය අන්තවාදී දේශපාලන පක්ෂයක අතකොළුවක් වෙන එක හරි බෝට්ටුවක හෝ මෝරකුගේ හරි පිටේ නැගලා ඉතාලියට, ජපානයට පැන ගන්න එක විතරයි. බෙල්ලේ සයනයිඩ් කරල එල්ල ගත්ත අයත්, දණින් වැටී ජීවත් වනවාට වඩා දෙපයින් නැගී සිට මිය යෑම උතුම් කියලා පාරේ ලියපු අයත් ඒ අතර හිටියා.
     
    අපේ රටේ කාර්මික අධ්‍යාපනය ආරම්භ වෙන්නේ 1893දී සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමය යටතේයි. කාර්මික අධ්‍යාපනය සම්බන්ධයෙන් ඊළඟ පියවර තබන්න අපි වසර 100ක් බලන් හිටියා. මේ අතර පුංචි පියවර කීපයක් තබා තිබුණත් ඒවා එතරම් සාර්ථක වුණේ නැහැ. 1994 දී වත්මන් ජනාධිපතිතුමා කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ආරම්භ කරමින් නගරයට සීමා වී තිබූ කාර්මික අධ්‍යාපනය ගමට ගෙන ගියා. අද වන විට ජාතික ඇගයීමේ ක‍්‍රමවේදයක් ලෙස ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ක‍්‍රමය බිහිවෙලා තිබෙනවා.NVQ 1-7  දක්වා මේ මාර්ගය ඔස්සේ ගමන් කළ හැකියි. NVQ 7  මට්ටම උපාධියයි. රත්මලානේ පිහිටි වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් මේ උපාධිය ලබා ගත හැකියි. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අ.පො.ස උසස් පෙළ හෝ ඉසෙඩ් ස්කෝර් අවශ්‍ය වන්නේ නැහැ. මෙම විශ්වවිද්‍යාලය තුළ  400ක් පමණ මේ වන විට උපාධි පාඨමාලා හදාරනවා. විශ්වවිද්‍යාලයේ දෙවන කණ්ඩායම මේ වසරේ එළියට ඒමට නියමිතයි.
     
    පාසල් හැර යන අය කාර්මික අධ්‍යාපනයට බඳවා ගැනීමෙන් වැඩක් නැහැ. පාසල් අධ්‍යාපනය තුළට කාර්මික අධ්‍යාපනය ගෙනියන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ඒ අනුව අපි උසස් පෙළට තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දුන්නා. මේ තුළින් කාර්මික අධ්‍යාපනයට, වෘත්තීය පුහුණුවට සමාජයේ පිළිගැනීම ඇති කරන්න පුළුවන් වුණා.  2016 දී තාක්ෂණවේදය හදාරන දරුවන්ගේ පළමු කණ්ඩායම විශ්වවිද්‍යාලයට යනවා. තාක්ෂණ විෂය ධාරාවේ විශ්වවිද්‍යාලයට යා ගත නොහැකි දරුවන් සඳහා විශ්වවිද්‍යාල විද්‍යායතන 25ක් ආරම්භ වෙනවා. බදුල්ලෙත් එක් විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කරනවා. අපේ රජයට රටේ දරුවන් බරක් නොවෙයි. මහින්ද රාජපක්ෂ රජය කවදාවත් එහෙම හිතන්නේ නැහැ. NITA ආයතනය යටතේ වැඩිදුර පුහුණුව සඳහා කර්මාන්ත ශාලා, සේවා ආයතන අප තෝරා ගන්නේ ළමයින්ගේ හැදියාව පවා ගොඩනැන්වීමට හැකි වටපිටාව පිළිබඳ අධ්‍යයනයකින් පසුවයි. රුපියල් 15,000ක් දීලා සේවකයෙක් ගන්නවාට වඩා මේ ළමයින්ට රුපියල් 4,000ක්, 5,000ක් දීලා වැඩ ටික ගන්නවා කියලා හිතන කව්රුවත්මෙතන නැහැ. ඔබ අප තෝරා ගැනීමේදී පක්ෂභේද උඩරට, පහතරට, සිංහල, දෙමළ ආදී කිසිවක් සොයා බැලුවේ නැහැ. ඔබ එකතු වී සිටින්නේ ජාතික වගකීම ඉටු කිරීමටයි. ඔබ රජයේ වගකීම ඉටුකිරීමට අපේ වැඩ කොටසකට උරදී සිටීම පිළිබඳ රාජ්‍යයේ ගෞරවය හිමිවෙනවා'' යැයි ද ඔහු සඳහන් කළේය.
     
    ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති චන්දන අරුණදේව මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya