පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදේශකත්වය මත දෙපාර්තමේන්තු නිලධාරින්ගේ සම්පත් දායකත්වයෙන් මේ විශ්ලේෂණ කටයුතු සිදු කෙරෙන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්‍ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ විශේෂඥ සම්පත් දායකත්වය ද එයට ලැබී තිබේ. තවද විදේශ ආයතන කිහිපයක සහයෝගය ද මේ සඳහා ලබා ගැනීමට කටයුතු කර ඇත. කූරගල භූමියේ සමස්ත කැණීමෙන් හමුවූ දත්ත විශ්ලේෂණය කර කූරගල ඉතිහාසය පැහැඳිලි කර ගැනීමත් එම කාලය තුළ මානවයාගේ තාක්‍ෂණික භාවිතාවන්, ආහාර රටාවන් සහ පරිසරයේ විවිධතා හඳුනා ගැනීම මෙම ව්‍යාපෘතිවල අරමුණ වේ.
උක්ත කැණීම් මගින් අනාවරණය වු ප‍්‍රධානත ම කරුණ නම් කූරගල භූමි ප‍්‍රදේශය බලංගොඩ මානවයා ජීවත්වු භූමියක් ලෙසට හඳුනා ගැනීමට හැකිවීමයි. කූරගල පරිසරයට අනුගත වෙමින් ද ගින්දර භාවිත කරමින් ද මේ මානවයා ශිෂ්ටාචාර ගත දිවි පෙවෙතක් ගත කර ඇති බවට තහවුරු විය. එමෙන් ම ඔවුහු දිවයිනේ සමකාලීනව ජීවත්වු ජන කොට්ඨාස සමඟ විශේෂයෙන් වෙරළබඩතැන්නේ ජීවත්වු මානවයා සමඟ ද අන්තර් සබඳතා පවත්වා ඇති බවත් හෙළි වී තිබේ. මොවුන් භාවිත කළ ආයුධ අතර තාක්ෂණයෙන් ඉහළ ජ්‍යාමිතික රූපී ක්ෂුද්‍ර ශිලා මෙවලම් ද අස්ථිවලින් සැකසූ මෙවලම් ද බහුල විය. තවද සත්ත්ව අස්ථිවලින් සෑදු පබළු ද ගුරුගල් භාවිතයෙන් සැකසූ වර්ණ ආලේපන පිළිබඳ සාධක ද කැණිමෙන් අනාවරණය විය.
කූරගල මානවයා විසින් වියළි කලාපය හා තෙත් කලාපය යන දෙකටම ආවේණිකවු සතුන් ආහාරයට ගන්නා ලද බව හමුවී ඇති සත්ත්ව අවශේෂවලින් පැහැදිලි විය. මුහුදු මසුන්, කලපු කකුළුවන් ඒ අතර බහුල ව දක්නට ලැබිණ. තව ද දුර්ලභ දිවි වර්ග, වල් ගවයා වැනි දැනට වඳ වී ඇති සතුන්ගේ කොටස් ද මේ කැණීමේ දී හමුවීම සුවිශේෂී කරුණකි. ක්ෂීරපායි මෙන් ම උරග වර්ග රැසකගේ අස්ථි කොටස් ද දිය හා ගොඩ ගොළුබෙල්ලන්ගේ කොටස් ද කැණීමේදී හමුවිය. මෙසේ හමු වී ඇති සියලු දත්ත විශ්ලේෂණය කිරීම මගින් මේ මානවයාගේ සංක‍්‍රමණික ක‍්‍රියාවලිය ව්‍යාප්ත වීමේ රටාව ආදි බොහෝ තොරතුරු ඉදිරියේදී හෙළි කර ගැනීමට හැකිවනු ඇත. කෙසේ වෙතත් මෙම විශ්ලේෂණ කටයුතු ඉදිරි මාස කිහිපයේත් සබරගමු පුරාවිද්‍යා කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතයි.
ECB