නුවරඑළිය දිස්ත්‍රික් ඉඩම් හා රෙජිස්ට්‍රාර් කාර්යාලය මෙම වැඩමුළුව සංවිධානය කොට තිබුණු අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ගංගා හෙයියන්තුඩුව සහ පී. රුවිනි වික්‍රමසිංහ යන මහත්මීන් විසින් මෙම වැඩසටහනෙහි ප්‍රධාන දේශන පවත්වන ලදී.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවයේ පවතින විනිවිදභාවය සහ යහ පාලනය යහපත් මහජන සේවයක් ලබා දීම සඳහා උපකාරී වන බවත් එය මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළ ප්‍රමුඛ තේමාවක් වන බවයි. එමෙන් ම අල්ලස් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවාව තුළින් තෘප්තිමත් පෞද්ගලික ජීවිතයක් සහ විශ්‍රාමික ජීවිතයක් නිතැතින් ම හිමිවන බවත් එය අන් අයගේ ඉමහත් ගෞරවාදරයට ලක්වන බවත් ඔහු කීය.
මීට වසර කිහිපයකට පෙර පුවත්පත්හි දක්නට ලැබුණේ යුද්ධය හා සමගාමී ව පළ වූ ප්‍රවෘත්තීන් බවත් ඒ වෙනුවට අද දවසේ දක්නට ලැබෙන්නේ දූෂණ හා වංචා පිළිබඳවත් එය දැඩි පසුගාමී තත්ත්වයක් බවත් දිස්ත්‍රික් ලේකම්තුමා මෙහි දී පෙන්වා දුන්නේය.
අල්ලස් හා දූෂණ කොමිෂම් සභා පනත පළමුවර 1994 වසරේ පොදුජන එක්සත් පෙරමුණ රජයේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කරගන්නට යෙදුණි. එසේ ස්ථාපිත මෙම ආයතනය කිසිදු අමාත්‍යාංශයකට හෝ දෙපාර්තමේන්තුවකට අයත් නොවන අතර එය අතිගරු ජනාධිපතිතුමා වෙත පමණක් වගකියනු ලබයි. කොමසාරිස්වරුන් තිදෙනෙක්, නීති නිලධාරීන් සහ විමර්ශන නිලධාරීන්ගෙන් මෙම කොමිසම් සභාව සැදුම්ලත් ය. ජනාධිපතිතුමා හැර මහජන මුදලින් නඩත්තු වන රජය වෙනුවෙන් සේවයේ යෙදෙන සියලුම නිලධාරීන් මෙම පනතට අනුව විමර්ශනය කිරීමට ඉඩ කඩ හිමි වේ. මෙම අල්ලස් පනත අනුව රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ ව නීතිය ක්‍රියාත්මක කෙරේ. නිල රාජකාරියක් ඉටු කර ගැනීමෙහි දී මෙම අල්ලස් ලබා ගැනීමට අවස්ථාව රාජ්‍ය නිලධාරීන්ට හිමි වන අතර මහජනතාව ද ස්වකීය අවශ්‍යතාව කඩිනමින් සිදු කර ගැනීමට මෙසේ අල්ලස් ලබා දීමට පෙළඹී සිටී. මුදල්, මුදල් නොවන වස්තූන්, තනතුරු, වරප්‍රසාද, ලිංගික අල්ලස් හා සේවාවන් ලෙස අල්ලස් ලෙස ලබා ගැනීමට සහ ලබා දීමට පෙළඹී සිටී.
මෙම අල්ලස් ලබා ගැනීමට එරෙහි ව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ පමණක් නඩු විභාග කිරීම සිදු වන අතර අල්ලසේ තක්සේරුව අනුව දණ්ඩයට ලක් කිරීම සිදු වේ. රාජ්‍ය සේවකයන්ට, අධිකරණ නිලධාරීන්ට, බන්ධනාගාර නිලධාරීන්ට, සුරාබදු නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට ඒ ඒ වගන්ති ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කිරීම සිදු වේ. ඒ අනුව වසර 07කට නොවැඩි සිර දඬුවම් හා දඩ මුදල් අයකිරීමට අමතර ව, ප්‍රජා අයිතිය අහෝසි කිරීම, රැකියාව සහ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ආදී දණ්ඩනයන්ට ලක් කිරීම ද සිදු වේ. එය චූදිතයන්ගේ දූ දරුවන්ටද දැඩි අපහසුතාවට පත්වන කාරණයක් වනු නොඅනුමාන බව ද ඔහු කීය.
NDH/SH-dmu nuwaraeliya