එම සුබවාදී ප්‍රවණතාව ඇති වීමට හේතුව වත්මන් රජය ගම නගරයට ගෙනි යන්නේ නැතිව නගරය ගමට ගෙනියන දැවැන්ත සංවර්ධනයක් රට පුරා ක්‍රියාත්මක කිරීම නිසා බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම අදහස් පළ කළේ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තෝරා ගත් කුඩා නගර 45ක් සඳහා සැකසුණු නගර සැලසුම් ප්‍රාදේශීය සභා වෙත පිළිගැන්විම වෙනුවෙන් ඊයේ (01) දින සෙත්සිරිපාය නව ගොඩනැගිල්ලේ නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
පළාත් පාලන ආයතන වැනි විධිමත් ආයතන පද්ධතියක් පිළිබඳ ව සමස්තයක් වශයෙන් කළු පින්තූරයක් ඇති කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන බවත්, එය මහා අපරාධයක් මෙන් ම අරාජිකත්වයට අත වැනීමක් බවත් එසේ කටයුතු කරන පිරිස බලයට පත් වූවත් ඔවුන්ට සමාජයේ වටිනාකමක් හා පිළිගැනීමක් නොලැබෙන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අවුරුදු 60කට වඩා වැඩි කාලයකට පසු අපි නැවත උත්සාහ කරනවා කොළඹ නගරයේ අවිධිමත්ව ව්‍යාප්ත වුණු නාගරික ස්වභාවය වෙනස් කරලා විධිමත් නාගරික සැලැස්මක් ඇතුළේ බිහිවුණු නගරයක් බවට පරිවර්තනය කර ගන්න. එයට විශාල වැයක් කළ යුතු වෙනවා. තිරස් අතට විහිදුණු නොදියුණු ජනාවාස, පැල්පත්වල ජීවත්වන ජනයා විධිමත් මහල් නිවාසවලට ගෙන ඒම වෙනුවෙන් ආයෝජනය කළ යුතු වෙනවා. ඒ වගේ ම නගරයේ අත්‍යවශ්‍ය අවශ්‍යතා මොනවද කියලා හඳුනාගෙන ඒවා සපුරන්න සිදුවෙනවා. නව නාගරික ජන ජීවිතයක් ඇති කිරීම සඳහා දැවැන්ත මැදිහත්වීමක් අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ සිදුවෙමින් පවතිනවා. කොළඹ නගරයේ පමණක් නො වේ මේ වැඩපිළිවෙළ අද ප්‍රත්‍යන්ත ගම්මාන ආශ්‍රිතව තිබෙන කුඩා නගර දක්වා විහිද යන ක්‍රියාන්විතයක් බවට පත්වෙනවා.
මේ කලාපයේ නගරය දෙසට ජනගහනය ඇදී ඒමේ ප්‍රවණතාව අඩුවෙන් ම පෙන්වන්නේ ලංකාව. වෙන රටවල්වල නගරය දෙසට ගමේ ජනතාව වේගයෙන් ඇදී එනකොට ලංකාවේ නගරයට ගමේ ජනතාව ඇදෙන ප්‍රවණතාව 4% වැනි ඉතා අඩු අගයකින් සිදුවන්නේ. එයට හේතුව තමයි අපේ රටේ ගමේ ආර්ථික ජීවිතය ගොඩනැගී තිබීම. කෘෂි නිෂ්පාදනය, වාණිජ බෝග වගාවන්, අපනයන භෝග වගාවන්, එහෙම නැත්නම් වෙනත් කර්මාන්තයක් වශයෙන් ගමේ ආර්ථිකයට අවශ්‍ය කරන මූලික විභවයන් ගම්වල ඉතිරිවෙලා තියෙනවා. මෙම තත්ත්වය ඉතා ම පැහැදිලියි එකක් ගමේ ආර්ථිකය පවතින නිසා අනිත් අතට නගරයේ තිබෙන පහසුකම් ක්‍රම ක්‍රමයෙන් ගම දෙසට ඇදී එන නිසා. ඒ නිසා තමයි ගම නගරයට ගෙනියන්නේ නැතිව නගරය ගමට ගෙනියන්න මේ රජය යටතේ විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ.
පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලද අදහසකට අනුව මේ කුඩා නගර 45 වෙනුවෙන් සැලසුම් සකස් කර සංවර්ධන වැඩසටහන මේ වසර ඇතුළත තව පළාත් පාලන ආයතන 60ක් වෙනුවෙන් මේ ආකාරයේ නව සැලසුම් සකස් කර ඉදිරිපත් කිරීමට මෙන් ම ලබන වසරේ තවත් කුඩා නගර 100ක් වෙනුවෙන් ඒවා දියුණු කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70% පමණ ප්‍රතිශතයක් ජීවත්වන්නේ ග්‍රාමීය ප්‍රදේශ තුළය. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක ඉටුකර ගැනීමේදී මෙම ග්‍රාමීය ප්‍රදේශ වැඩි දායකත්වයක් සපයයි. එම දායකත්වය කාර්යක්ෂම හා ඵලදායී ලෙස යොදවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සේවා මධ්‍යස්ථානවලට සැලසුම් සකස් කිරීම විමල් වීරවංශ අමාත්‍යවරයාගේ මඟපෙන්වීම මත ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සිදු කරනු ලබයි. එම කාර්යය නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත යටතේ පැවරී ඇත්තේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව වෙතය.
මේ යටතේ බදුල්ල, මොනරාගල, අනුරාධපුර, ගාල්ල, මහනුවර, ගම්පහ, පොලොන්නරුව, කෑගල්ල, හම්බන්තොට, මාතලේ, රත්නපුර, පුත්තලම ආදි දිස්ත්‍රික්ක රැසක කුඩා නගර සැලසුම් 45ක් පළමු පියවර යටතේ නිර්මාණය කර ප්‍රාදේශීය සභා වෙත භාරදෙන ලදී.
ඉතිහාසයේ සිට ම ශ්‍රී ලංකාවේ සැලසුම්ගත නගර හා ග්‍රාම නිර්මාණය කර තිබේ. වර්තමානයේදී ද එවැනි සැලසුම් සහගත නගර හා ග්‍රාම නිර්මාණය කිරීම ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සිදු කරයි. ඒ අනුව කුඩා නගර සේවා මධ්‍යස්ථාන 45ක් සඳහා සැලසුම් නිර්මාණය කර ඒවා ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර නීතිමය භාවයක් ලබාදෙමින් ආයෝජකයන් ඇතුළු සැමගේ නෙත් යොමු කෙරෙන අයුරින් මෙම කුඩා නගර සේවා මධ්‍යස්ථාන සැලසුම් ප්‍රාදේශීය සභා වෙත පිළිගැන්වීම මෙදින සිදුකෙරිණ.
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) සී.ඩී.ඩබ්. අලහකෝන්, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නෙරංජන් කුරුකුලසූරිය, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.එස්. රණවක යන මහත්ම මහත්මීහු, ආයතන ප්‍රධානීහු, ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
DB