අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවයක ඉදිකිරීම් ශිල්පීන්ට පිළිගැනීමක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

    ජූලි 26, 2014
    රාජ්‍ය  සේවය තුළ ඉදිකිරීම් ශිල්පීන්ට ලබාදිය යුතු පිළිගැනීම ඉහළින්ම ලබාදීම සඳහා සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්  අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රමාණ සමීක්ෂකයින්ගේ 2014 වර්ෂය සඳහා වූ වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. මෙම උත්සවය කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී ඊයේ (25) පැවැත්විණ.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා "ඉදිකිරීම් ක්ෂේත්‍රය කියන්නේ ශිල්පීන්, වෘත්තිකයන්, කොන්ත්‍රාත්කරුවන් ආදී වශයෙන් විශාල පිරිසකගෙන් සමන්විත ක්ෂේත්‍රයක්. මේ ක්ෂේත්‍රයේ වර්ධනයක් අපි ඉදිරිපිට සිදුවෙමින් තිබෙන විට ඊට සමඟාමීව ක්ෂේත්‍රයේ ඉන්න ශිල්පීන්ගේ, වෘත්තිකයින්ගේ ප්‍රගතියක්, වර්ධනයක් අපිට සෑහීමකට පත්වන අයුරින් සිදුවිය යුතුයි. රජයක් හැටියට අපි ඒ සඳහා වන මූලික  පියවරයන් මේ වන විටත් අරගනිමින් තිබෙනවා. ඒ අනුව අප හිතනවා ඉදිරි කාලය තුළ මීට වඩා යහපත් වාතාවරණයක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  ඇති කරන්න අපට  හැකිවෙයි කියලා".
     
    "අද දින මේ විද්වත් කතිකාවතේ දී සාකච්ඡාවට ගැනුණු කරුණු බොහොමයක් ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ICTAD) පුරෝගාමීත්වය ගෙන විසඳාලීමට කටයුතු කළ යුතු කරුණු වශයෙන් තිබුණා.  ඒ වගේම ඒ බොහොමයක් තීරණ අමාත්‍ය මණ්ඩලය  වශයෙන් අප විසින් ගතයුතු තීරණ".
     
    "මෙහිදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගුණාත්මක අංශ පිළිබඳවත් උපරිම සැලකිල්ල දක්වමින් කටයුතු සිදු කළ යුතුයි. ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ICTAD) අධිකාරියක් බවට පත්කිරීමේ පනතට මේ වන විට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී අවසන්. තව නොබෝ දිනකින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. අපේ රටේ තිබෙන යම් යම් ක්‍රමවේද නිසා ඒ සඳහා  ඉතා විශාල කාලයක්  වැයවුණා.  ඒ කෙසේ වෙතත් ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ICTAD)  අධිකාරියක් බවට පත්වූ පසුව මෙහිදී සාකච්ඡා වුණු බොහෝ කරුණු විධිමත් තත්ත්වයකට පත්කරන්න දැනට වඩා බලසම්පන්න භූමිකාවක් කිරීමේ බලය එම අධිකාරියට ලැබෙනවා".
     
    ප්‍රමාණ සමීක්ෂක වෘත්තිය ඉදිකිරීම් ක්ෂේත්‍රයට හා රාජ්‍ය අංශය සඳහා ඵලදායී ලෙස යොදාගැනීමේ අරමුණින් වාර්ෂිකව මෙම සම්මේලනය පවත්වනු ලබයි. 1984 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමාණ සමීක්ෂණ වෘත්තියේ හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් සකස් කිරීම, රාජ්‍ය ආයතනවලට  අදාළ වෘත්තීන් පිළිබඳව උපදෙස් ලබාදීම, වෘත්තිකයින්ගේ වෘත්තීය මට්ටම වැඩිදියුණු කිරීම වැනි කාර්යයන් ඉටුකරනු ලබයි. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය  වේගයෙන් වර්ධනය  වන විට එම ක්ෂේත්‍රයට අදාළ ආයතන හා අනෙකුත් අංශ ඊට සමගාමීව කෙසේ වර්ධනය විය යුතුද? වෙනස් විය යුතුද? යන මැයින් විද්වත් කතිකාවක්  මෙහිදී පැවැත්විණ. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එහිදී අදහස් දක්වනු ලැබූහ.
     
    මෙම අවස්ථාවට සහභාගීවීම වෙනුවෙන් මෙහිදී අමාත්‍යවරයාට විශේෂ සමරු තිළිණයක් පිරිනැමුණි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, වාස්තු විද්‍යා හා ප්‍රමාණ සමීක්ෂක ක්ෂේත්‍රයන්හි දැක්වූ සුවිශාල දායකත්වය වෙනුවෙන් මහාචාර්ය චිත්‍රා වෙඩික්කාර මහත්මියට විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී විශේෂ සමරු තිළිණයක්  ප්‍රදානය කරන ලදී.
     
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ, එහි හිටපු සභාපති හේමන්ත අපොන්සු, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ සභාපති අනුර දසනායක, මොරටුව විශ්වවිද්‍යාල උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන යන මහත්වරු, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විද්වත්හු, වෘත්තිකයෝ, ප්‍රමාණ සමීක්ෂකයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya