මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොස් පැල ලක්ෂ 10ක් සිටුවීමේ ජාතික වැඩපිළිවෙළක්

    ජූනි 07, 2018
    ලෝක කෘෂිකර්ම දිනය සහ ආතර් වී දියෙස් (කොස් මාමා) මැතිතුමාගේ ජාතික කොස් පැළ සිටුවීමේ ව්‍යාපාරයට වසර සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කොස් පැල ලක්ෂ 10ක් සිටුවීමේ ව්‍යාපාරය 11දා පානදුර ජෙරමියස් දියස් පාසලෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    "අපි වවලයි - අපි කන්නේ" යන තේමාව යටතේ ආරම්භ කරනු ලබන මෙම ජාතික වැඩපිළිවෙළ යටතේ පළමු වැඩසටහන ලෙස මාස 18කින් ඵලදාව නෙලාගත හැකි බද්ධ කරන ලද කොස් පැල ලක්ෂ 10ක් සිටුවීමේ ජාතික ව්‍යාපාරය ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඉදිරියේ දී සියලු ම ජනතාව මෙම වැඩසටහන යටතට එක් කර ගැනීම සඳහා තම ගෙවත්තේ එළවළු පැල කිහිපයක් සමඟ පලතුරු පැලයක් සිටුවීමට යෝජනා ක්‍රියාත්මක කරන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා නවීන තාක්ෂණය, අපනයනය හා ආනයනය අඩුකිරීම හරහා තරුණ පිරිස කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ආකර්ෂණය කරගැනීමට කටයුතු කරන බවත් පෙන්වා දුනි.
     
    එමෙන් ම ඉදිරියේ දී කොස්, පොල්, කරපිංචා, දොඩම්, ඇඹරැල්ල, දෙල් වැනි පැල ඒ ඒ ප්‍රදේශ සඳහා ගැළපෙන ආකාරයෙන් ජනතාව අතර බෙදාහැරීමට මෙන් ම දේශීය වශයෙන් වගාකළ හැකි ඉඟුරු, කහ, දොඩම්, මිදි, පෙයාර්ස්, මුං ඇට, කුරක්කන් වැනි දේ ආනයනය සීමා කරමින් වගාකරුවන් දිරිමත් කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය.
     
    වාර්ෂිකව පොහොර ආනයනය වෙනුවෙන් රුපියල් මිලියන 45,000කට වැඩි මුදලක් වැය කරන අතර ම පොහොර සහනාධාරය ලබාදීම වෙනුවෙන් වාර්ෂිව රජය රුපියල් මිලියන 33,000ක් පමණ වැය කරන බවත් ඉදිරියේ දි එප්පාවල පොස්පේට් නිධිය ප්‍රයෝජනයට ගනිමින් පොහොර නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ද ඒ හරහා වාර්ෂිකව මිලියන 7000ක් පමණ ඉතිරිකරගත හැකි බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා වගා හානියක් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් වන ආකාරයෙන් කෘෂි රක්ෂණ වැඩපිළිවෙළ බෝග 06ක් වෙනුවෙන් ගොවියාගෙන් කිසිදු මුදලක් අය නොකරමින් ක්‍රියාත්මක කිරීම සඳහා මිලියන 5200ක් පමණ වැය කොට ඇතැයි ද පෙන්වා දුනි.
     
    ඉදිරියේ දී රටේ වගා කළ හැකි බෝග වර්ගයන් ආනයනය කිරීමේ දී කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතිය ලබාගත යුතු ක්‍රමවේදයක් හඳුන්වාදීම හරහා ගොවියා දිරිමත් කිරීමටත් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා ද ජාතික වැඩපිළිවෙළක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya