නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනඅලි තර්ජනය අවම කිරීමට වැඩපිළිවෙළක්

    අගෝස්තු 08, 2016
    වන අලි තර්ජන වැඩි වී අලි මිනිස් ගැටුම උග්‍රවී තිබෙන්නේ රටේ පවතින අලිමංකඩවලින් 95%ක් ඇහිරී තිබෙන නිසා බවත් එම අලි මංකඩවල් අලින්ට යළිත් ලබාදීමේ වැඩසටහනක් ළඟදීම ආරම්භ කරන බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය අවධාරණය කරයි.
     
    දැනට රටේ අලිමංකඩවල් 70ක් පමණ තිබෙන බවත් ඉන් 95%ක් පමණ ඇහිරී තිබෙන බවත් පෙන්වාදෙන සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය ඇමතිතුමිය ප්‍රකාශ කරන්නේ මෙම අලිමංකඩවල් යළිත් අලින්ට ලබාදීමේ වැඩසටහන සඳහා තිරිසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබාගෙන තිබෙන බවයි.
     
    අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ මොණරාගල දිස්ත්‍රික්කයේ පවතින වන අලි තර්ජන වැළැක්වීමේ වැඩසටහන සම්බන්ධයෙන් පැවති රැස්වීමකදී අදහස් දක්වමිණි. නියෝජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පසුගියදා පැවැත්වුණේ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදීය.
     
    ඒ සඳහා සියලු ම අලිමංකඩවල් පිළිබඳ තොරතුරු ලබාගෙන ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යතුමාගේ උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා වනජීවී භාරය විසින් යැයි ද අමාත්‍යවරිය පැවසීය.
     
    "අලිමංකඩවල පදිංචි වී සිටින ජනතාව ඉන් ඉවත්කර ඔවුන්ට සුදුසු ස්ථානවල යළිපදිංචි කිරීම සිදුකරනවා. ඔවුන්ට නිවාස ඉදිකරගැනීම සඳහා රජය ආධාර ලබාදෙනවා. අනතුරුදායක ස්ථානයක ජීවත් නොවී ඔවුන්ට හිතකර වාසස්ථානයකට සුදුසු  තැනක් ලබාදී නිවාස ඉදිකිරීම සඳහා ආධාර ලබාදීම ඉතාමත්ම වැදගත්. එම කටයුත්තට හැමෝගේම සහාය හිමිවී  මෙම අලි මිනිස් ගැටුම අවම කර ගැනීමට සහයෝගය ලබාදීම ඉතා කාලීන දෙයක්" යැයි ද පැවසීය.
     
    "ඒ වගේම අලිමිනිස් ගැටුම අවම කරගැනීම සඳහා 1992 යනුවෙන් හදුන්වා දී තිබෙන හදිසි දුරකථන ඇමතුමට කථාකිරීමෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ක්ෂණිකව දායකත්වය ලබාගන්න පුළුවන්. වන අලියෙකු ගම්වැදුනු විට ඒ වන අලියා පලවා හැරීමට ගම් වැසියන් කටයුතු නොකළ යුතුයි. එවිට ගම්වැසියන්ට අනතුරු සිදුවෙන්න පුළුවන්. එවැනි සිද්ධිවලින් ගම්වාසීන් මියගිය අවස්ථා සහ තුවාල ලැබූ අවස්ථා ඕනතරම් තිබෙනවා. එම නිසා වන අලි තර්ජන ඇතුළු වනජීවීන් සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් 1992 හදිසි ඇමතුම් අංකයට ලබාදෙන්න පුළුවන්. වනජීවීන්ට සිදුවන හානිගැනත් දැනුම්දෙන්න පුළුවන්. මෙම හදිසි ඇමතුම් සේවාව පැය 24 පුරාම විවෘත" යැයි ද කීය.
     
    අලි-මිනිස් ගැටුම වෙනුවට සත්ව මිනිස් සංහිදියාව වැනි නව ප්‍රවේශයකින්  මෙම ගැටුම අවසාන කිරීම සඳහා වැඩසටහන් අපේ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබෙන බවත්  ‘වනදිවි මිතුරු’ කමිටු ඇති කර මෙම ගැටුම නව ප‍්‍රවේශයකින් විසඳීම සඳහා ගනු ලබන ක‍්‍රියාමාර්ගයට සියලු ම දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
     
    එක්සත් ජාතික පක්‍ෂයේ මොණරාගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද කුමාරසිරි, තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්මුල්ල, අතිරේක ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, මොණරාගල දිස්ත‍්‍රික් ලේකම් ඩී. එස්. පත්ම කුලසූරිය, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්. එස්. කේ. පතිරත්න මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර මාපලගම, තණමල්විල සහකාර පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya