වන අලින්ගේ සංක්‍රමණික මාර්ග ලෙස අවම වශයෙන් මීටර් 500ක පළලකින් යුතු අලිමංකඩ වෙන් කර තැබීමටත් එවැනි වන අලි සංක්‍රමණික මාර්ග අවහිර වන සේ ස්ථිරව පදිංචි වී සිටින හෝ වගා කටයුතුවල නිරත වන ජනතාවට අසාධාරණයක් නොවන පරිදි ඔවුන්ට විකල්ප ඉඩම් හෝ වන්දි හෝ ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීමටත්, ඔවුන් වන අලි සංක්‍රමණික මාර්ගවලින් ඉවත් කිරීමටත් මේ අනුව කටයුතු යොදා ඇත.
අලි - මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව වන අලින් 250ක් පමණ මිය යන බවත් මිනිස් ජීවිත 60 - 70ක පමණ සංඛ්‍යාවක් අහිමි වන බවත් වාර්තා වී ඇත.
මෙම ගැටලුව විසඳීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට අනුගමනය කරනු ලබන වන අලින් පලවා හැරීම හා ඔවුන් අල්ලා වෙනත් ප්‍රදේශවලට මුදා හැරීම වැනි ක්‍රියාමාර්ගවල අසාර්ථක බවත් වන අලින් සිය නිජ භූමිවලින් ඉවත් කළ නොහැකි බවත් පර්යේෂණාත්මකව අනාවරණය වී තිබේ.
2011 වසරේදී පවත්වන ලද දීපව්‍යාප්ත වන අලි සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවේ වනාන්තරවල වන අලි 5,879ක් ජීවත් වන බව අනාවරණය වී ඇති අතර මේ වන විට වනාන්තරවල වන අලි 6,000ක් පමණ ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙරට වන අලින්ගෙන් 67%ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත ප්‍රදේශ තුළද, 30%ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත වනාන්තර තුළද, 3%ක් රක්ෂිත ප්‍රදේශවලින් බැහැර කුඩා වනාන්තරවල ද ජීවත් වන අතර, එකී වනාන්තර අතරවන අලි සංක්‍රමණය වීමද නිරන්තරව සිදු වේ.
රක්ෂිත ප්‍රදේශවලින් බැහැරව පිහිටි, වන අලින් ජීවත් වන හා සංක්‍රමණය වන ප්‍රදේශ බොහොමයක් සින්නක්කර ඉඩම්ලාභීන්, අනවසර පදිංචිකරුවන් හා බලපත්‍රලාභී වගාකරුවන් විසින් පරිහරණය කරනු ලැබේ.