ලංකාවේ පළමු හෙළ බොජුන් හල මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස සිටිය දී විවෘත කළ බව ද අමාත්‍යවරයා පසුගියදා ජනතාව අතර දේශීය ආහාර පරිභෝජනය ප්‍රචලිත කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කළ 09 වන හෙළ බොජුන් හල බත්තරමුල්ලේ දී විවෘත කළ අවස්ථාවේ පැවසීය.
හෙළ බොජුන් හල තුළ දේශීය නිෂ්පාදනවලට මුල් තැන දී තියෙනවා. බොජුන් හල පවත්වාගෙන යනු ලබන්නේ ව්‍යාපාරිකයන් නොව ගොවි මහතුන්ගේ බිරින්දෑවරුන් විසින්. මෙහිදී ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළයි. දේශීය ආහාරවලට හුරුවීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මඟපාදනු ලබනවා. දේශීය ආහාර ප්‍රචලිත කිරීම මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අත්වැලක් වීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු වන බවත් ලංකාව පුරාම මෙවැනි බොජුන් හල් ආරම්භ කිරීම අපේක්ෂාව අතර හෙළ බොජුන් හල් ප්‍රචලිතවීමත් සමඟ අනෙකුත් ව්‍යාපාරිකයන් දේශීය නිෂ්පාදනවලට මුල් තැන ලබාදෙන බව විශ්වාස බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වස විසෙන් තොර එළවළු මිලදී ගැනීමට හෙළ බොජුන් හළ හරහා ජනතාවට අවස්ථාවක් උදාවී තිබෙනවා. එපමණක් නොව හෙළ බොජුන් හලෙන් ගෙවත්තේ වගාව සඳහා අවශ්‍ය බීජ හා පැළ මිලදී ගැනීමට ද හැකි වන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සහතික කළ පිරිසිදු දේශීය බිත්තර වී මිලදී ගැනීමටත් අද සිට ජනතාවට අවස්ථාව උදා වී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කළේය.
කෘෂි රසායන පිළිබඳ නොයෙකුත් අදහස් පවතී. වකුගඩු රෝගයට කෘෂි රසායනවල යම් බලපෑමක් පවතී. වල්නාශකවල අඩංගු කැඩ්මියම්, ආසනික් වකුගඩු රෝගයට හේතු වන බව හඳුනාගෙන ඇත. කෘෂි රසායන සහ වල්නාශක වැඩිපුර භාවිත වන ප්‍රදේශවල මෙම වකුගඩු රෝගීන් බහුල වීමෙන් ඒ බව තහවුරු වී තිබේ. මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති කාර්යාසාධන බලකායක් පිහිටුවා වකුගඩු රෝගය නිවාරණය කිරීම සහ පාලනය කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වන යුගයක් දැන් බිහි වී තිබේ. ඒ අනුව වකුගඩු රෝගය මැඩපැවැත්වීමට ගත යුතු ක්ෂණික සහ දිගු කාලීන විසඳුම් පිළිබඳ අවධානය යොමු වී ඇත.
කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් අනුව ලබන කන්නයේ සිට ග්ලයිෆොසේට් තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය. ජෛව විවිධත්ව දිනය සමරන දිනයේ මෙවැනි ඓතිහාසික තීන්දුවක් ගැනීමට ලැබීම විශේෂත්වයක්. තේ වගාව හැර කෘෂිකාර්මික වගාවන් සඳහා ග්ලයිෆොසේට් තහනම් කරන අතර, පෞද්ගලික ආයතනවලට ග්ලයිෆොසේට් ආනයනය කිරීමට ඉඩනොදී රාජ්‍ය ආයතනයක් වන තෙල් සංස්ථාවට පමණක් ආනයනය සඳහා අවසර දීමට රජය තීරණය කර ඇත. ඉදිරි කාලයේ දී ක්‍රමානුකූලව තේ වගාවට ග්ලයිෆොසේට් ආනයනය ද සම්පූර්ණයෙන් තහනම් කිරීම රජයේ සැලසුමයි. කුමන බලවේග ක්‍රියාත්මක වුවත් පීඩන එල්ල වුවත් ඒවාට හසු නොවී ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අවතීරණ වන බව අමාත්‍යතුමා මෙහිදී සඳහන් කළේය.
NDH