ඒ අනුව එහි නවතම හෙළ බොජුන්හල බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් හෙට (22) දින විවෘත කිරීමට නියමිතය.
මේ වන විට ගන්නෝරුව, පේරාදෙණිය, මහනුවර, කුණ්ඩසාල, අනුරාධපුර, පැල්වෙහෙර, ලබුදූව, බටඅත යන ප්‍රදේශවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හෙළ බොජුන් හල් ක්‍රියාත්මක කරන ලදී. බත්තරමුල්ලේ දී විවෘත වීමට නියමිතව ඇත්තේ නව වන හෙළ බොජුන් හලයි.
දේශීය ආහාර ප්‍රවර්ධනය කරන හෙළ බොජුන් හල් වැඩසහන යටතේ හෙළ බොජුන් හලට පැමිණෙන පාරිභෝගිකයාට රසකාරක, වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍යවලින් තොර නැවුම් ආහාර වේලක් භුක්ති විදිය හැකිය. රසයෙන් මෙන්ම ගුණාත්මක බවින් ඉහළ දේශීය ආහාර සාධාරණ මිලකට ලබා ගත හැකි වීම විශේෂත්වයකි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දිවයින පුරා හෙළ බොජුන් හල් ඇති කිරීම මඟින් කාන්තාවන් සඳහා කෘෂිකර්මය පාදක කරගත් රැකියා අවස්ථා බිහිකිරීමෙන් කාන්තාවන්ගේ ව්‍යාවසායකත්ව හැකියාවන් දියුණු කිරීමට කටයුතු කරයි. හෙළ බොජුන් හල් වල ආහාර පිසීමේ කටයුතු සිදු කරනු ලබන්නේ කාන්තාවන් විසිනි. කාන්තාවන්ට රැකියා අවස්ථා ලබාදීම මඟින් ඔවුන්ව ස්ථිර ආදායම් මාර්ගයක් කරා යොමුකර පවුලේ ආර්ථිකය සවිබල ගැන්වීම සහ කාන්තාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම හෙළ බොජුන් හල් වැඩසටහනේ තවත් අරමුණකි.
කෘත්‍රිම ආහාර රටාව වෙනුවට සැබෑ ලාංකේය රසයෙන් යුත් දේශීය ආහාර රටාවක් වෙත ජනතාව නැඹුරු කරවීම කාලීන අවශ්‍යතාවකි. ඒ සඳහා හෙළ බොජුන් හල සුවිශේෂි දායකත්වයක් සපයයි. මේ තුළින් දේශීය ගොවියාගේ දේශීය නිෂ්පාදනවලට දිරිගැන්වීමක් ලැබෙන අතර එය රටේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට ඉවහල් වේ. ජනතාව දේශීය ආහාරවලට නැඹුරු වීම තුළින් ක්ෂණික හා කෘත්‍රිම ආහාර ආනයනයට වැය වන විදේශ විනිමය රට තුළ ඉතුරු වේ.
දේශීය ඉවුම් පිහුම් ක්‍රම සහ ආහාර පිළිබඳ උනන්දුව ඇති කරමින් ඒවා අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම ද හෙළ බොජුන් හල් ඇති කිරීමේ තවත් පරමාර්ථයකි. විවෘත පරිසරයක් තුළ ආහාරපාන සැකසීම සිදුවන නිසා පාරිභෝගිකයන්ට ඉවුම් පිහුම් සම්බන්ධයෙන් දැනුවත් වීමට අවස්ථාව උදා වේ.
වගාකිරීම සම්බන්ධයෙන් උපදෙස් දීම පමණක් නොව වගාකරන ආහාර වල පෝෂණීය අගය සහ ගුණාත්මක බව පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීම ද තම වගකීමක් ලෙස සළකන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දේශීය ආහාර සංස්කෘතිය ව්‍යාප්ත කිරීම සඳහා හෙළ බොජුන් හල් හඳුන්වා දී තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකය මඟින් ක්‍රියාවට නංවන මීළඟ හෙළ බොජුන් හල කෑගල්ල පින්නවල දී විවෘත කිරීමට නියමිතය.
NDH