මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලපත‍්‍ර නොමැති වැලි ප‍්‍රවාහනයට එරෙහි ව දැඩි නීති - ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

    මාර්තු 03, 2015
    බලපත‍්‍ර නොමැති ව සිදු කෙරෙන වැලි ප‍්‍රවාහනයට එරෙහි ව දැඩි ව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
     
    මේ මාර්තු 15දා සිට කි‍්‍රයාත්මක වන පරිදි ඊට අදාළ නීතිරීති දැඩි ව කි‍්‍රයාත්මක කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල අනවසරයෙන් සිදු කෙරෙන වැලි කැනීම් පරිසරයට ඉතා හානිදායක තත්ත්වයක් උදා කර ඇති බව ද පෙන්වා දුන්නේ ය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ සොයා බැලීමට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සමඟ ඊයේ (02) පැවති හමුවක දී ය.
     
    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශය යටතේ පවතින ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු සොයා බැලීය.
     
    මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ ප‍්‍රවර්ධනය සහ සංවර්ධනය උදෙසා පවත්නා සම්පත් උපරිම ප‍්‍රයෝජනයට ගනිමින් ද ප‍්‍රශස්ත මට්ටමින් පහසුකම් ලබාදෙමින් ද නවීන තාක්ෂණය උපයෝගී කොටගෙන විශ්වාසදායී තත්ත්ව සහතික කරන පද්ධතියක් තුළ තිරසාර සංවර්ධනයක් ළඟා කරගනිමින් පාර්ශවකරුවන් වෙත ප‍්‍රතිලාභ සාධාරණව බෙදාදීම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මෙහෙවරයි.
     
    ආයතනයේ පසුගිය වසර 05ක කි‍්‍රයාකාරිත්වය සහ මතුව තිබෙන ගැටලු සහ අභියෝග පිළිබඳ ව මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූහ.
     
    කුරුවින්ද මැණික් සහ නිල් මැණික් සඳහා ශී‍්‍ර ලංකාව ලෝකයේ අග නගරය බවට තවදුරටත් තහවුරු කරමින් අපගේ මැණික් කර්මාන්තයේ ආදායම් මාර්ග වැඩි කර ගැනීමට ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසී ය.
     
    මැණික් වෙන්දේසි ක‍්‍රමවේදය මෙන්ම බලපත‍්‍ර ලබාදීමේ ක‍්‍රමවේදය පිළිබඳව ද කරුණු විමසූ ජනාධිපතිතුමා එහි පවතින දුර්වලතා සහ අඩුපාඩු පිළිබඳව ද කරුණු විමසී ය.
     
    අනවසර මැණික් ගැරීම් වැළැක්වීම පිළිබඳවත් ඒ සඳහා නීතිරීති කි‍්‍රයාත්මක කිරීම සහ වැටලීම්වලදි මුහුණදෙන ගැටලු පිළිබඳව ද කරුණු සාකච්ඡා කෙරිණි.
     
    මෙරට මැණික් කර්මාන්තයේ ප‍්‍රවර්ධනය සඳහා ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව ද මෙහිදී අදහස් හා යෝජනා රැසක් ඉදිරිපත් කෙරිණි. 
     
    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීල් රූපසිංහ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති වජිර නාරම්පනාව යන මහත්වරු ද මීට සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya