අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනය නගා සිටුවීමේ කතිකාවතට ජනපති මුල පුරයි

    ජූනි 19, 2020

    පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය දීමට කටයුතු සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ දැනුම පිරිවෙන් විෂය මාලාව තුළ සෙසු විෂයන්ට සමගාමීව හැදෑරීමේ අවස්ථාව සලසා දිය යුතු බවද ජනාධිපතිතුමා කියා සිටී.

    සෑම මසකම තෙවන සතියේ පැවැත්වෙන බෞද්ධ උපදේශක සභාව තෙවන වරටත් (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    බෞද්ධ උපදේශක සභාව දුන් උපදෙස් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව සඳහන් කළ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියෝ සුරක්ෂිත රටක්, නීතිගරුක සහ විනයගරු සමාජයක් උදෙසා සහ පුරාවිද්‍යා ස්ථාන සුරැකීමට කාර්ය සාධක බලකා දෙකක් පත් කිරීම සම්බන්ධව මහා සංඝරත්නයේ ප්‍රසංසාව පළ කළහ.

    එම බලකා අර්ථදායී ලෙස අපේක්ෂිත අරමුණු ඉටුකරනු ඇතැයි විශ්වාස කරන බවද උන්වහන්සේ පැවසූහ. රටේ සමස්ත කාර්යභාරය අතට ගෙන ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළට ජන සමාජයෙන් ලැබෙන ප්‍රසාදය බෞද්ධ උපදේශක සභාවට ද ගෞරවයක් බව මහා සංඝරත්නය පැවසූහ.

    පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ වත්මන් තත්වය බෞද්ධ උපදේශක සභාව ජනාධිපතිතුමාට සහ අධ්‍යාපන බලධාරීන්ට පෙන්වා දුන්හ.

    පිරිවෙන් විෂය නිර්දේශයේ සහ විෂය මාලාවේ සංශෝධනයක් විය යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ. සිංහල, පාලි, සංස්කෘත, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මෙන්ම තොරතුරු තාක්ෂණය පිරිවෙන් විෂය නිර්දේශය තුළ සමගාමී විෂයන් ලෙස ඉගැන්වීමේ අවශ්‍යතාව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

    දහම් පාසල් අධ්‍යාපනයට, සිසු පරපුර වැඩි වශයෙන් යොමු කළ යුතු බවත්, දහම් පාසල් ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් දිය යුතු බවත් සංඝරත්නය පැවසූහ.

    ඉරිදා දිනවල පෙ.ව 6.00 සිට ප.ව 2.00 දක්වාත්, පොහොය දිනයන්හි උපකාරක පංති පැවැත්වීම සම්පූර්ණයෙන්ම නතර කර ආගමික පසුබිම කෙරෙහි දරුවන් යොමු කිරීම යහපත් සමාජයක් උදෙසා කළයුතු මහගු කාර්යයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

    තරුණ දරුවන් මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු අපචාරවලට නැඹුරුවීමේ ප්‍රවනතාවක් පවතින බව පෙන්වා දුන් මහා සංඝරත්නය ප.ව 5.00 න් පසු උපකාරක පංති පැවැත්වීම නතර කර දෙමාපියන් ඇසුරෙහි දරුවන් රඳවා ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව පැවසූහ.

    පිරිවෙන් කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් කෙරිණ. උපාධිධාරී භික්ෂුන් වහන්සේ සහ ධර්මාචාර්ය විභාගය සමත් සිල් මාතාවන් පාසල්වල බුද්ධධර්මය විෂය ඉගැන්වීමට යොදාගතයුතු බව ද මහා සංඝරත්නය පෙන්වා දුන්හ.

    පිරිවෙන් සදහා ධර්මාචාර්ය අධ්‍යක්ෂ තනතුරක් ඇති කිරීම, පිරිවෙන් ශිෂ්‍යාධාරය ඉහළ නැංවීම, දහම් පාසල් ඉහළ ශ්‍රේණිවල පෙළ පොත්වල ඇති බෞද්ධ සංස්කෘතිය, පාලි සහ අභිධර්ම ගැඹුරු කොටස් ඉවත් කර සිසුන් දහම් දැනුම ලබාගැනීමට පොළඹවන කොටස් ඇතුළත් කිරීම යන කරුණු දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

    මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි, අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි , ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය ගංතුනේ අස්සජි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය වරාගොඩ ප්‍රේමරතන, ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ ශ්‍රී ධර්ම රක්ෂිත පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද යන නා හිමිවරු ඇතුළු ත්‍රෛනිකායික මහානායක, අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රධාන බෞද්ධ උපදේශක සභාව නියෝජනය කරන මහා සංඝරත්නය, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. හරිස්චන්ද්‍ර, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද යන මහත්වරු ඇතුළු නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya