අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල ගැල්මෙන් විපතට පත්වූවන්ගේ සහන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනපති හලාවත ප‍්‍රදේශයේ සංචාරයක

    මැයි 27, 2018

    අධික වැසි තත්ත්වයත් සමග සිදුවූ ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ගේ සහන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  ඊයේ (26) පස්වරුවේ හලාවත ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    මේ අතර මහවැව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් හමුවූ ජනාධිපතිතුමා එම ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලීය.

    අවතැන්වූවන් වෙනුවෙන් කි‍්‍රයාත්මක සුබසාධන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ද ති‍්‍රවිධ හමුදාවේ සහය ඇතිව විධිමත්ව කි‍්‍රයාවට නැංවීමට උපදෙස් දුන්නේය.

    අදාළ සහන කටයුතු අදියර දෙකක් යටතේ කි‍්‍රයාවට නංවා තිබෙන අතර ආපදා අවස්ථාවේදී ලබාදිය යුතු සහන පිළිබඳව මෙන්ම ආපදා අවස්ථාව පහව යාමෙන් අනතුරව එම ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කි‍්‍රයාත්මක කළයුතු වැඩපිළිවෙළ පිළිබඳව ද රජය ඉතා වගකීමෙන් කටයුතු කරන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    එමෙන්ම ආපදාවට ලක්වූ විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් සහ රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවල සේවකයින් වෙනුවෙන් විශේෂ සහනදායි වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා මෙම සියලු සහන කටයුතු කි‍්‍රයාවට නැංවීමේදී කිසිවිටෙකත් චක‍්‍රලේඛ බාධාවක් කර නොගන්නා ලෙසත්, ජනතා අවශ්‍යතා අනුව එම තීන්දු තීරණ අවශ්‍ය පරිදි කි‍්‍රයාත්මක කරන ලෙසත් නිලධාරින්ට දැනුම් දුන්නේය.

    හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් තම ජීවනෝපාය මාර්ගවලට සිදුවූ හානි පිළිබඳව ද මෙහිදී ප‍්‍රදේශයේ ජනතාව ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කළ අතර තම ජීවනෝපාය මාර්ග නැවත ගොඩනගා ගැනීම වෙනුවෙන් සහනදායී වැඩපිළිවෙළක් යටතේ ණය මුදලක් ලබා ගැනීමට සහය වෙන ලෙස ඔවුන් කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

    මෙම ආපදා අවස්ථාවලදී ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රාජ්‍ය සේවකයින් ප‍්‍රමුඛ ආරක්ෂක සාමාජිකයින් ඉටුකරන මෙහෙවර මෙහිදී අගය කළ ජනාධිපතිතුමා, ගංවතුරට කොටු වූ පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටියදී අතුරුදන් වූ පොලිස් නිලධාරියා වෙනුවෙන් ද සිය කනගාටුව පළ කළ අතර ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ගතයුතු පියවර කඩිනමින් සොයා බලන ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ජල ගැලීම හේතුවෙන් ගිලා බැසීමට ලක්වූ මැදගොඩ පාලම ද ඉන් අනතුරුව ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    එහිදී ද ප‍්‍රදේශයේ ජනතාව හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලු අතර එම පාලම කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය.

    ඉන් අනතුරුව ප‍්‍රදේශයේ අවතැන්වූ ජනතාව රඳවා සිටින නාත්තන්ඩිය ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානය වෙත ද ගිය ජනාධිපතිතුමා එම ජනතාවගේ අඩු පාඩු පිළිබඳ සොයා බැලීය.

    ප‍්‍රදේශයේ අවතැන් වූ පවුල් 40 ක පුද්ගලයන් 250 දෙනෙකු පමණ මෙහි තාවකාලිකව රඳවා තිබෙන අතර ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බැලු ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසමින් කෙටි කතා බහක ද නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya