අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතීන් වශයෙන් බෙදුනු රටක් සෑම විටම පිරිහෙනවා- අප හමුවේ ඇති ජාතික ගැටලු අප විසින්ම විසඳාගැනීමට කටයුතු කළ යුතුයි

    අප්‍රේල් 19, 2018

    ජාතීන් වශයෙන් බෙදුනු රටක් සෑම විටම පිරිහෙන බවත් එවැනි රටකට අනාගතයක් නොමැති බවත් ලෝකයේ දියුණු වූ සෑම රටක් එම ස්ථාවරය ලබා ගත්තේ එම ජාතික සමඟිය උපදවමින් බවත් කතානායක කරූ ජයසූරිය  මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ ආගමික සහ ජාතික සහජීවනය තහවුරු කිරීම උදෙසා ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු කමිටුව සංවිධානය කළ සර්ව ආගමික සමුළුව අමතමින් අද (19) පාර්ලිමේන්තුවේ දී කතානායකවරයා මේ බව ප්‍රකාශ
    කළේ ය.

    පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සර්ව ආගමික,සර්ව පාක්ෂික සමුළුව ඓතිහාසික ගමනකට,දේශයේ අභිවෘද්ධියට  මගපෑදෙන බීජයක් වේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බවත් කතානායකවරයා සඳහන් කළේ ය.

    අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන සර්ව ආගමික, සර්ව පාක්ෂික සමුළුව ඓතිහාසික ගමනකට, දේශයේ  අභිවෘද්ධියට මගපෑදෙන බීජයක් වේවායි ඉත සිතින් පතනවා. පසුගිය මාසයේ අම්පාරේත්, ඉන් පසුව මාර්තු මස නුවරත් ඇති වූ අවාසනාවන්ත සිද්ධීන් නිසා අපේ රටටත්,  අපගේ ආර්ථිකයටත් විශාල හානියක් සිදු වුනා. එමෙන්ම, ලෝකයාගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී සිටි අප රටේ  කීර්තිනාමයටත් එයින් විශාල අවැඩක් සිදුවූවා.

    එමෙන්ම එම සිද්ධියෙන් පසු රටේ ඇතිවූ ජනතා කම්පනය අපව මෙවන් මගකට යොමු කිරීමට හැකිවීම සුභවාදී  පියවරක් ලෙස අපි දකිනවා. මෙයින් වඩාත් කැපී පෙනෙන සිද්ධිය වශයෙන් අපි දකින්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ  ප්‍රධානීන්, මෙම මහා ජාතික ව්‍යසනය දුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙස අවධාරණය කරමින් අදහස් ප්‍රකාශ කිරීමයි. එම අරමුණින් යුතුව නිවැරදිව ක්‍රියා කළහොත් එය රටේ අභිවෘද්ධියට  වටිනා පිටිවහලක් වෙනු නොඅනුමානයි.

    මෙම ජාතික ඉල්ලීමට කන්දෙමින් සර්වපාක්ෂික නියෝජිත පිරිසක් මාර්තු 10 වෙනි සෙනසුරාදා මහනුවරට ගියා.  පළමුවෙන්ම නියෝජිත පිරිස මල්වතු මහ නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ උපදෙස් ලබාගත් අතර, එම
    මගපෙන්වීම අතිශයින් වැදගත් වුණා. පසුව ගියේ අස්ගිරි මහා විහාරයටයි. එහිදී විදේශගතව සිටි  මහනාහිමිපාණන් වෙනුවෙන් ගෞරවනීය අනුනායක හිමිපාණන්, මහා ලේඛකාධිකාරී හිමිපාණන් ප්‍රමුඛ අස්ගිරි  සංඝ සභාවේ පූර්ණ ආශිර්වාදය අපට ලැබුණා. මෙය ජාතික ව්‍යාප්තියක් වශයෙන් නොනවත්වාම ඉදිරියට ගෙන  යන ලෙස උන්වහන්සේලාගෙන් අපට ලැබුණු උපදේශය විශාල ශක්තියක් වුණා. ඉන්පසු අප හමුවූ මුස්ලිම් හා  හින්දු ආගමික නායකයන් හා කතෝලික ක්‍රිස්තියානි ආගමික නායකයින් දේශපාලන බේදයෙන් තොරව මෙම  ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන ලෙස අපව දැඩි ලෙස දිරිමත් කළා.අද පාර්ලිමේන්තුවේ ආරම්භ වන මෙම  සම්මේලනය පැවැත්වෙනුයේ එම ජාතික ඉල්ලීමට කන්දීමක් වශයෙන් බව ගෞරවයෙන් සිහි කිරීමට කැමතියි.අද  මෙම අති සම්භාවනීය සභාවට දේශයට මුහුණ දීමට සිදුවන අභියෝග රාශියක් ගැන අවධානය යොමු කිරීමට  අදහස් කරනවා.

    අපගේ පළමුවැනි උත්සාහය විය යුත්තේ අද අප හමුවේ ඇති ජාතික ගැටලු වහාම අප විසින්  විසඳීමට කටයුතු කිරීමයි. එය තරුණ පරපුරට හෝ නූපන් පරපුරට පවරා යෑම ජාතික අපරාධයක්. මෙම  ආයාචනය අප විසින් රාජ්‍ය නායකයින්ට, හිටපු නායකයින්ට, විපක්ෂ ප්‍රධානීන්ට ඉදිරිපත් කර ඇත. ඔවුනගේ  දරුවන්ට හෝ මුණුබුරු මිණිබිරියන්ට මෙම ගැටළුව අප විසින් නොවිසඳා, රටට බාර දෙන්නේ නම් එය බරපතල  අසාධාරණයක් ලෙස දකිනවා.මෙම උත්තරීතර සම්මේලනයේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු  කිරීමට කැමතියි.

    · ජාතීන් අතර සමගිය ඇති කිරීම ප්‍රධාන කාර්යයක් වශයෙන් දකිනවා. ජාතීන් වශයෙන් බෙදුනු රටක් සෑම විටම පිරිහෙනවා. එවැනි රටකට අනාගතයක් නැත. ලෝකයේ දියුණු වූ සෑම රටක්ම එම ස්ථාවරය ලබා ගත්තේ එම ජාතික සමගිය උපදවමිනි.

    · විනය ගරුක රටක් බිහි කිරීම.

    විනය ඇති නිවසක්, ගමක්, නගරයක්, ප්‍රදේශයක්, රටක් දියුණු වේ. එසේ නොවූ විට පිරිහීම ඇති වේ. වේලාවට වැඩ නොකිරීම ලාංකික ජනතාවගේ දුර්වලකමකි. අප විසින් මෙම දුර්වලකම වහා දුරු කළ යුතු වේ. මෙම ආදර්ශය ඉහළින් ලැබුණොත් එය නිතැතින්ම පහළට යැවෙනු ඇත.

    · ප්‍රජා අයිතිය රැකදීම

    මෙය මූලික මිනිස් අයිතිය ඉක්මවූ අයිතියකි. ප්‍රජා අයිතිය යනු ඡන්දය දීමේ අයිතිය පමණක් නොව, රටේ සෑම  පුරවැසියෙකුටම රජය සපයන සෞඛ්‍ය පහසුකම්, ගමනාගමන පහසුකම්, අධ්‍යාපන පහසුකම්, ජලය, විදුලිය  ආදිය ලබාගැනීම් සඳහා ඇති අයිතිය ලෙස අප දකිනවා. ජනතාව මෙම සේවාවන් සඳහා දුප්පත් පොහොසත්  භේදයකින් තොරව තමන් උපයන මුදලින් බදු ගෙවනවා. අද අසරණ ජනතාවට සමහර පුද්ගලයින්ගේ අදූරදර්ශී  ක්‍රියාදාමය නිසා මෙම අයිතින් නොලැබේ. ඒ හේතුවෙන් ඔවුන්ට අසීමිත දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවූ අවස්ථා  බොහෝයි. මෙතුලින් අසරණ වන්නේ ධනවතුන් නොවෙයි. නැති බැරි අහිංසක මිනිසුන්ය.

    වෛද්‍ය වර්ජන නිසා අසරණ ජනතාවට ඇතිවන පීඩාව හා ජීවිත හානි අති මහත්ය. දැනුම් නොදී කරන වර්ජන  නිසා ජනතාවට, පාසල් දරුවන්ට ඇති වන පීඩනය සුලුපටු නොවේ. මෙම සිද්ධීන් අප දකින්නේ මිනිසා විසින්  මිනිසාගෙන් පලිගැනීමක් ලෙසයි. ලෝකයේ වැඩිම විරෝධතා ඇති රටක් වශයෙන් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත.  කිසිම වැදගත්කමක් නොමැති කරුණු කීපයක් මුල් කරගෙන කීප දෙනෙකුට අද පාර මැද ටයර් පුච්චමින්  සම්පූර්ණ ගමනාගමනය පැය ගණනකට බාධා කළ හැකිය. අප එය දැන් දකින අලුත් රටාවකි. එවැනි සිදුවීම් මහා  පරිමාණ ලෙස හුවා දැක්වීමට සූදානම් ජාත්‍යන්තර මාධ්‍යය පැය ගණනක් තුළ ලෝකයටම එම කරුණු  අනාවරණය කිරීම නිසා අපේ රට වියවුල් සහගත රටක් ලෙස ලෝකය පුරාම ප්‍රචලිත වෙනවා. එවැනි රටකට  සංචාරකයෝ පැමිණේද ? ආයෝජකයෝ පැමිණේද ? මෙය අප විසින් වහා නිම කළ යුතු පිළිලයකි.

    · ආර්ථික දියුණුව

    අද රටක් වශයෙන් ආර්ථිකය විශාල වශයෙන් පසුබා ඇත. එයට හේතුව අපේ රටේ ඇතිවූ ජාති ආගම් හා  දේශපාලන භේද නිසයි.අප නිදහස ලබන විට ජපානයත් අප රටත් අතර දළ ජාතික ආදායමේ වෙනස එක්  ඩොලරයක් පමණි. අද වෙනස ගව් ගණනින්.ලෝකයේ වැඩිම නිවාඩු ඇත්තේ අපේ රටෙහිය. ලෝකයේ  විශාලතම රාජ්‍ය සේවය ඇත්තේ අපේ රටේය.

    මෙම කරුණු පිළිබඳව අපෙන් පසුව මෙම රට භාර ගන්නා පරම්පරාව තුළ හැඟීමක් ජනිත කිරීමේ පදනම  මෙතැනින් ඇති කළ හැකි යැයි මා දැඩිව විශ්වාස කරනවා. ජාතික ආගමික සමගිය, රට පිළිබඳ හැඟිම,  පරාර්ථකාමීත්වය, විනය, මනුෂ්‍යත්වය මේ සියල්ල අධ්‍යාපනික, ආගමික සංස්ථාවන් තුළින් දරුවන් තුළ ජනිත  කරවීම සඳහා විශේෂ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් පසුගිය දිනවල ඇතිවූ අමිහිරි සිදුවීම්වලට  හය හතර නොදත් නව යොවුන් තරුණයන් විශාල ලෙස මැදිහත් වී ඇති බවට තොරතුරු ලැබුණා. ඔවුන් යුද්ධයක  භයානක අත්දැකීම් හරියට දන්නේ නැහැ. ඉතිහාසයේ අප නිදහස උදෙසා එකම ජාතියක් ලෙස සිංහල, දෙමළ,  මුස්ලිම් ජනතාව එක්ව සටන් කළ ආකාරය පිළිබඳව දන්නේ නැහැ. ඔවුන් ගැටුම් වලට මැදහත් වන්නේ  අන‍වබෝධය නිසයි.

    ගෞරවනීය ආගමික නායකවරුනි,

    අද ඔබවහන්සේලා වෙත ගෙනහැර දැක්වූයේ පාර්ලිමේන්තුව තුළින් අපි දකින රටේ දැවෙන ගැටළු රාශියකි. මේවා  දියවන්නාවෙන් පමණක් විසඳිය නොහැකි අති විශාල ජාතික අභියෝග රැසකි. රට හා ජනතාව වෙනුවෙන් මෙම දැවෙන ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කොට රටට සෙතක් සැලසීමට  පෙරමුණ ගන්නා ලෙස ඔබවහන්සේලාට ආයාචනා කරමු.

    අද දවසේ ඉහත අරමුණ උදෙසා එම කතිකාව ශීර්ෂ 7 ක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරනවා යැයි ද  කතානායකවරයා පැවසීය.

    මේ අවස්ථාවට අතිපූජ්‍ය මහනායක හිමිපාණන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය,සියලු පූජ්‍ය ඔරසාදීන් වහන්සේ, සියලු පක්ෂ නියෝජනය කරමින් දේශපාලන නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරු ප්‍රධාන රාජ්‍ය නිලධාරීහූ ඇතුළු ප්‍රභූ අමුත්තන් රැසක් සහභාගී වූහ.

     

     

    agamika1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya