අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාස කිහිපයකින් නව විදේශ ගමන් බලපත්‍රයක් - අගමැති

    දෙසැම්බර් 15, 2017
    තවත් මාස කිහිපයකින් විදේශ ගමන් බලපත්‍රය සඳහා මයික්‍රෝ චිප් තාක්‍ෂණය ඇතුළත් කෙරෙන අතර ඒ අනුව තමන්ගේ ඇඟිලි සලකුණ, ඡායාරූපය සහ තවත් තොරතුරු ගණනාවක් ඊට ඇතුළත් කෙරෙන බවත් එය නව දියුණුවක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) බියගම ආයෝජන කලාපයේ පිහිටි තෝමස් ඩිලාරූ (De La Rue) ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
     
    තෝමස් ඩිලාරූ සමාගම සහ ශ්‍රී ලංකා ආණ්ඩුව සිදු කරන හවුල් ව්‍යාපාරයක් බවත් මෙය, 1986 වසරේ දී මම බියගම ආයෝජන කලාපය ආරම්භ කළ අවස්ථාවේ ගෙනා මුද්‍රණාලයක් බවත් අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය. 
     
    ඉදිරියේ දී සැමරීමට නියමිත, නිදහසේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් මෙම මුද්‍රණාලයේ දී මුදල් නෝට්ටු මුද්‍රණ කටයුතු මේ දිනවල දී සිදු කරන බවත් ඒ වගේම දැනට ඝානාවේ සහ වෙනිසියුලාවේ මුදල් නෝට්ටු ද මෙහි මුද්‍රණය වෙමින් තිබෙන බවත් කී අග්‍රාමාත්‍යවරයා එම කටයුතුවල රහසිගත භාවය ආරක්‍ෂා කළ යුතු වූ නිසා මාධ්‍යවේදීන්ට මෙම ස්ථානයට ඇතුළුවීමට අවසර නොලැබුණු බවත් කීය.
     
    "මෙම ආයතනය මෙරටට පැමිණියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහායි. අද වන විට ශ්‍රී ලංකාවට මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නේ 25% ක් පමණක් වන අතර ඉදිරියේ දී ඉතිරි 75% ද අලුතෙන් මුද්‍රණය කිරීමට නියමිතයි. ගිය වසරේ දී අපේ මහබැංකුවේ නිලධාරීන් එංගලන්ත මහ බැංකුවේ කටයුතු පිළිබඳව සොයා බලා, එම මහ බැංකුවේ භාවිතා කරන යන්ත්‍ර සියල්ල මේ ආයතනය සඳහා ද ගෙන්වා තිබෙනවා.  ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ ඇණවුම් මේ ආයතනය වෙත ලබා දීමෙන් පසු අනාගතයේ දී වෙනත් රටවල විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ ඇණවුම් ද මෙම ආයතනයට ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා". 
     
    "නව විදේශ ආයෝජන ගෙන ඒමට පමණක් නොව, දැනට තිබෙන ව්‍යාපාර වෙළඳපොළ තරගකාරීත්වයට මුහුණදීමට හැකි ආකාරයට හැඩගස්වා ඒවාහි නිෂ්පාදන අපනයනය කිරීම සඳහා පෙළඹවීමට ආණ්ඩුවක් ලෙස අප කටයුතු කරනවා. එමගින් තවත් අවුරුදු කිහිපයකින් මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය මීටත් වඩා ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප අපනයන ඉහළ දැමීමට කටයුතු කළ යුතු අතර එමගින් දැනට තිබෙන ආදායම්වලට වඩා විශාල ආදායමක් ලබා ගැනීමට හැකි වෙනවා". 
     
    ඉදිරියේ දී මහනුවර, බිංගිරිය, මාවතගම, කළුතර, ගාල්ල, හම්බන්තොට, මොණරාගල ආදී ප්‍රදේශවල විශාල ආයෝජන කලාප ඇති කරන අතර එමගින් එම ප්‍රදේශ දියුණු කිරීමට කටයුතු කරන අතර ම මෙම කටයුතු සඳහා අවම වශයෙන් වසර දෙක තුනක් ගත  වන බවත් නව ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ආයෝජකයන් කෙරෙහි විශ්වාසයක් ඇති වී තිබෙන බවත් බියගම, කටුනායක වැනි ආයෝජන කලාපවලට වඩා වැඩි තාක්‍ෂණයකින් යුතු ආයෝජන කලාප විශාල සංඛ්‍යාවක් මෙරට තුළ ඇති කර, එම කර්මාන්ත සඳහා 21 වැනි ශත වර්ෂයේ මැද භාගයට ඔබින තාක්‍ෂණය ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීයයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya